විමල් නිහඬතාවය පුපුරුවයි

September 11, 2015

ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන සීපා ගිවිසුම අත්සන් කිරීමට වත්මන් ආණ්ඩුව හොර රහසේම කටයුතු කරන බවත් ඊට එරෙහිව සියලූ පටු වාදභේද පසෙකලා ජාතියක් ලෙස සමගි සම්පන්නව නැගී සිටිය යුතු බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘මේ රටේ අමුතු ආකාරයක විශාල ඇමති මණ්ඩලයක් මේ වන විට හැදෙමින් තිබෙනවා. එය තවමත් දිවුරුම් දී අවසන් වී නැහැ. ලෝකයේ අන් රටවල් හා සසඳා බලනවිට එය දිවුරුම් දීමට වැඩිම කාලයක් ගත්තු ඇමති මණ්ඩලය ලෙස ඉතිහාසයට එකතු වන්නටත් පුළුවන්.

‘මහින්ද රාජපක්‍ෂගේ ඇමති මණ්ඩලය ලොකු වැඩියි. ගසා කනවා. මහජන මුදල් නාස්ති වෙනවා’ කියාගෙන බලයට ආපු මේ අය ඇමති වරප‍්‍රසාද භුක්ති විඳින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 115ක් හදමින් ඉන්නවා. කැබිනට් අමාත්‍යවරුන් 48ක්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45ක්, කැබිනට් අමාත්‍යවරයකුගේ වරප‍්‍රසාද සහිත දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් 22ක් ලෙසින් මේ 115 සැදී තිබෙනවා. මේ රටේ ජනතාවගේ බදු මුදලින් ඇමති වරප‍්‍රසාද භුක්ති විදින 115ක් නඩත්තු කරන්න සිදු වෙලා තිබෙනවා. මේ 115 දෙනාගේ සහ ඇමති කාර්ය මණ්ඩලවල මාසික වැටුප් හා දීමනා සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 20ක මුදලක් වැය වෙනවා. මේ වරප‍්‍රසාදහිමි පිරිස හා ඔවුන්ගේ ලේකම්වරුන් සඳහා රජයේ වාහන 805ක් වෙන් කිරීමට සිදුව තිබෙනවා. කැබිනට් මණ්ඩලය 25ට අඩු කරලා පෙන්වන්නම් කියලා බලය ඉල්ලපු මේ අය අද ‘කැබිනෙට්ටුව’ ‘අල්මාරියක්’ නොවෙයි ‘පෙට්ටගමක්’ තරමට විශාල කරගෙන තිබෙනවා.

විද්‍යාත්මක විෂයන් බෙදීමක් සහිත අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරනවා කියපු මේ අය දැන් මොකද කරලා තියෙන්නේ? උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාල සහ මහාමාර්ග අමාත්‍යාංශයක් ඇති කොට තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් පෙළපාලි එනකොට මහාමාර්ගයේදී නතර කරන්න ඇමතිට බලය දෙන්නද මෙහෙම අමාත්‍යාංශයක් හැදුවේ? කියන ප‍්‍රශ්නය අපට තියෙනවා.

ඒ වගේම මේ ‘යහපාලන නඩය’ විසින් පිළිකුල් ලෙස ප‍්‍රතික්‍ෂේප කරපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ හිටපු චරිත, මේ ඇමති වරප‍්‍රසාදලාභීන් අතර ඉන්නවා. දැන් බලන්න එස්. බී. දිසානායක අමාත්‍යවරයා යටතේ ඉන්නවා ‘විරෝදාර රන්ජන් රාමනායක’ මහත්තයා. මම දන්නේ නැහැ ඒ දෙන්නාගෙන් කාටද මේ තත්ත්වය දරාගෙන ඉන්න පුළුවන් කියලා. මේ ආකාරයට කලවම් ආණ්ඩුවක් හදලා තියෙනවා. එහෙම කරලා එකට ‘ජාතික ආණ්ඩුව’ කියන නම දාලා තියෙනවා.

දැන් බලන්න යූ.එන්.පී. ආණ්ඩුවක් හැදුවා නම් කැබිනට් මණ්ඩලය 30ට සීමා වෙනවා. නමුත් ‘ජාතික ආණ්ඩු’ ලේබලය ගහලා අද යූ.එන්.පී 33ක් කැබිනට් අමාත්‍ය ධුර ලබාගෙන තියෙනවා. ඒ වගේම මැතිවරණ වේදිකාවලදී එස්. බී. දිසානායක, නිශාන්ත මුතුහෙට්ටිගම වගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස්වලට මේ අය චෝදනා එල්ල කළා. එතනෝල්කාරයෝ, කුඩුකාරයෝ, මැරයෝ කිව්වා. නමුත් දැන් එජාප – ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ මේ අය ඇමතිකම් අරගෙන එකට වාඩි වෙලා ඉන්නවා. දැන් බලපුවාම නරක මිනිහකුට ඉදලා තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ විතරයි. ‘මහින්ද රාජපක්‍ෂව එලෙව්වා. දැන් අපි බෙදාගෙන කමු’ කියන තැනටයි මේ අය ඇවිත් ඉන්නේ.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා නිතරම ලිච්ඡුවී රජ දවස ගැන කතා කරනවා බුදුරජාණන් වහන්සේ ලිච්ඡුවීන් අරභයා තමයි ‘සප්ත අපරිහානි ධර්මය’ දේශනා කරනු ලැබුවේ. ඉන් එකක් තමයි ‘සමගිව රැස්වීම’ වික‍්‍රමසිංහ මහත්තයලා සමගිව රැස්වෙලා තියෙනවා, ඇමතිකම් ටික බෙදා ගන්න. දැන් සමගිව මහජන ධනය කොල්ලකන්න පුළුවන්. මේක තමයි රනිල්ගේ ලිච්ඡවී සම්ප‍්‍රදාය.

මේක විලිලැජ්ජා සහගත තත්ත්වයක්. ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ නැමැති බලවත් නායකයා එළවන්න දායක වුණු සියලූම දෙනා මේකට වග කියන්න  ඕනෙ. සෝභිත ස්වාමීන් වහන්සේ පටන් අනුර කුමාර දිසානායක දක්වා ඒ බලසම්පන්න නායකයාට එරෙහිව බොරු චෝදනා එල්ල කරලා පරාජය කරන්න අත ගහපු හැම දෙනාම මේ 115ක ඇමති මණ්ඩලයක් ඇති වීමට වග කියන්න  ඕනෙ. ඒ අයට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ.

115ක ඇමති මණ්ඩලයක් හදාගත්තේ ඇයි?

මේ 115ක ඇමති මණ්ඩලයක් හදාගත්තේ ඇයි? රටට අහිතකර, දේශද්‍රෝහී වැඩ ටික කරන්නයි. ඒකට පාර්ලිමේන්තුවේ 2/3ක්  ඕනෙ. ඒකයි මේ වගේ මෙගා ඇමති මණ්ඩලයක් හදා ගත්තේ. මහජන මුදලින් මේ 115 නඩත්තු කරන්නේ රටට එරෙහි පාපතර ක‍්‍රියාවලට පාර්ලිමේන්තුවේදී අත උස්සා ගන්නයි. මේ තත්ත්වය ඉතා පිළිකුල් සහගත තත්ත්වයක්. අලියාට හෝ බුලත් කොළයට ඡන්දය දුන් කිසිවකු මේ වගේ තත්ත්වයක් බලාපොරොත්තු වුණේ නැහැ. අපි මේ දෙපැත්තෙම ඉන්න සියලූ ජනතාවට කියනවා ‘ඉදිරියේදී අපි මේ පිළිකුල් සහගත තත්ත්වයට එරෙහිව පියවර ගන්නවා. ඊට ඔබ සියලූ දෙනාගේ සහයෝගය ලබා දෙන්න’’ කියලා

‘වී ගොවියා මහමගට ඇද දැමීම’

වී මිලදී ගැනීම සඳහා මේ ආණ්ඩුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 6000ක් පමණයි. ඉන් මිලදී ගත හැක්කේ වී මෙ.ටො. 1,20,000ක් පමණයි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී අපි අවම වශයෙන් වී මෙ.ටො. 2,50,000ක් මිලදී ගනු ලැබුවා. අවම වශයෙන් රජය මැදිහත් වෙලා වී මෙ.ටො. 2,50,000ක් මිලදී ගත්තොත් විතරයි තමන්ගේ අස්වැන්නට තරගකාරී මිලක් ලැබෙන විදිහේ වාතාවරණයක් ගොවියාට හදලා දෙන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්‍ෂ පාලනය දිගින් දිගටම ඒ දෙය කළා. අද වී කිලෝව රුපියල් 20-25ට බැහැලා තියෙන්නේ. හාල් කිලෝව රුපියල් 90-100ට තියෙන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසයි. අවම වශයෙන් වී මෙ.ටො. 2,50,000ක් මිලදී ගන්න මුදල් වෙන් කළාම මේ තත්ත්වය වෙනස් වෙනවා. අද රට තුළ සහල් අතිරික්තයක් තිබියදී පිටරටින් සහල් ආනයනය කරන්න වෙලා තියෙනවා.

මේ අයට අඩුම තරමින් ගබඩාවල තිබුණු වී ටිකවත් කලට වේලාවට ඉවත්කර ගන්න බැරි වුණා. සහල් මිල ඉහළ යනකොට ගබඩාවල තිබුණු වී සහල් බවට පත්කොට වෙළඳපොළට නිකුත් කරන්න තිබුණා. නමුත් තම ගජමිතුරු සහල් මෝල් හිමියන්ගේ උවමනාවට මේ ආණ්ඩුව ඒ දේ කළේ නැහැ. ගොවියාව අසරණ කරපු, වී ගබඩා හිස් කරගන්න බැරි වුණු, අවසානයේදී මත්තල ගුවන් තොටුපළෙත් වී ගබඩා කරපු මෝඩ තකතීරු ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා ඉවරයි. මේක මෑත ඉතිහාසය තුළ බිහි වුණු විහිළුකාරීම ආණ්ඩුව.

‘රුපියල බාල්දු වීම’

තමන් ‘ආර්ථික ඥානය සහිත මොලය’ මුළු ඇග්‍ෙම තියෙන ආණ්ඩුවක් බවයි මේ අය පැවසුවේ. හැබැයි බලයට ආපු වේලාවේ ඉඳලා රුපියල වැටෙනවා. රුපියල වේගයෙන් අවප‍්‍රමාණය වෙමින් තිබෙනවා. මේ වන විට ගෙවුම් ශේෂ හිගය ඍණ මට්ටමකට පැමිණ තිබෙනවා. විදේශ විනිමය සංචිතය මේ මාස 06ට ඩොලර් බිලියන 06 දක්වා පහත වැටී තිබෙනවා.

විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 06 දක්වා අඩු වුණාම වෙළඳපොළට ඩොලර් ලබාදීමේ හැකියාව මහ බැංකුවට නැතිව යනවා. අද මුදල් වෙළපොළට ඩොලර් සපයන්න ශ‍්‍රී ලංකා රජයට බැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට රුපියල පාවෙන්න අරිනවා මිසක් වෙන කළ හැකි දෙයක් නැහැ. තව මාසයක් දෙකක් මේ විදිහට ඉදිරියට ගියොත් ඩොලරයේ අගය රුපියල් 150 දක්වා ඉහළ නගින එක වළක්වන්න බැහැ. ලංකා ඉතිහාසය තුළ රුපියල අවප‍්‍රමාණය වීම වැඩිම වේගයකින් සිදු වන්නේ මේ කාලය තුළයි.

‘රට IMF ණය උගුලක’

වී මිලදී ගැනීමේ ප‍්‍රශ්නය, රුපියල අවප‍්‍රමාණය වීමේ ප‍්‍රශ්නය අපේ පාලන කාලයේ විසඳ තිබු ප‍්‍රශ්න. මේ ආර්ථික අර්බුදයට පිළියමක් විදිහට මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්( IMF) ඩොලර් බිලියන 04ක ණයක් ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ඩොලර් බිලියන 04 දෙන්න කොන්දේසි දානවා. ඒ කොන්දේසිවල තිබෙනවා, ‘රිගේනින් ශ‍්‍රී ලංකාථ යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩසටහනේ න්‍යාය පත‍්‍රය.

කබීර් හෂීම් ඇමතිවරයාට වාණිජ රාජ්‍ය ආයතන 50කට අධික ප‍්‍රමාණයක් භාර දෙන්නේ සුරතල් කරමින් තියා ගන්න නොවෙයි. ඒ තුළ තිබෙනවා රාජ්‍ය ආයතන විකුණා දැමීමේ න්‍යාය පත‍්‍ර. ඒ වගේම මේ රට ෆෙඩරල් රටක් කිරීමේ න්‍යාය පත‍්‍රයත් දැන් ක‍්‍රියාත්මකයි. රටට සතුරු මේ න්‍යාය පත‍්‍රය. සියල්ල ක‍්‍රියාත්මක කරන්න අවශ්‍ය අනුමැතිය ගන්න පාර්ලිමේන්තුවේදී  ඕනෑම වේලාවක අත උස්සන්න සූදානම් ‘ලයිට් කණු’ ටිකක් හදන්න  ඕනෙ. ඒ ‘ලයිට් කණු’ ටික හදා ගන්නයි මේ ඇමති කටු ටිකක් දෙන්නේ

රනිල් ඉන්දියාවේදී ‘සීපාවට’ අත්සන් කරයිද?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එළඹෙන 14 වැනිදා ඉන්දියාවට යෑමට නියමිතයි. එහිදී ‘සීපා ගිවිසුම’ අත්සන් කිරීමට නියමිත බවයි ඇතැම් මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබෙන්නේ. සීපා ගිවිසුම ඉන්දියාවේ යෝජනාවක් අනුව සැකසු එකක්. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී එක් අවස්ථාවක සීපා ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් තිබුණා. ඒ සඳහා එවකට ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මැතිතුමා ලංකාවට පැමිණ සිටියා. මේ රටේ ව්‍යාපාරික ප‍්‍රජාව, කර්මාන්තකරුවන් සමග අපි මේ ගිවිසුමෙහි තිබෙන අවදානම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට පෙන්වලා දුන්නා. ඒ අනුව මන්මෝහන් සිං මහත්තයා ලංකාවේ සිටියදීම මහින්ද රාජපක්‍ෂ මහත්තයා තීරණයක් ගත්තා ‘රටට අහිතකර මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ’ කියලා. සමහර විට ඒක මහින්ද රාජපක්‍ෂගෙන් පලිගන්න ඉන්දියාවට එක් ප‍්‍රධාන හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ එඩිතර නායකත්වය එදා ඒ එඩිතර තීන්දුව ගත්තා.

දනුෂ්කොඩි සිට මන්නාරමට පාලමක් ඉදි කිරීම, ඉන්දීය ධීවරයන්ට ශ‍්‍රී ලංකා මුහුදේ මාළු ඇල්ලීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා සීපා ගිවිසුම යන කරුණු අගමැතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී අවධානයට යොමුවන බවයි වාර්තා වෙන්නේ. සීපා ගිවිසුම ගැන පාර්ලිමේන්තුව තුළ විවාදයක් ඇති වෙලා නැහැ. අදාළ අමාත්‍යාංශය එම ගිවිසුම පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත්කර නැහැ. අපේ රටට ඉතා බරපතළ ලෙස බලපාන ගිවිසුමක් එසේ සංවාදයට භාජනය නොවී කෙසේද අත්සන් තබන්නේ? එවැනි ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමක් රට වෙනුවෙන් අත්සන් තැබීමට බලය ඇත්තේ අගමැතිවරයාට නොවෙයි ජනාධිපතිවරයාටයි.

මේ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකා භාණ්ඩ වෙළඳපොළ පමණක් නොවෙයි සේවා වෙළඳපොළත් ඉන්දියාවට විවෘත වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, හෝටල්, සුපිරි වෙළඳසැල් ඇතුළු සේවා සැපයීමේ අවස්ථාවට මේ ගිවිසුමෙන් ඉන්දියානුවන්ට හිමි වෙනවා. එසේ සේවා සැපයීමට එන පිරිස් ශ‍්‍රී ලාංකිකයන් ලෙස සැලකීමට සිදු වෙනවා. වෛද්‍යවරයා, ඉන්ජිනේරුවා, නීතිඥවරයා සිට කම්කරුවා දක්වා සියලූ දෙනාට රැකියා සඳහා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග පැමිණීමට මෙම ගිවිසුමින් ඉඩකඩ සලසා දෙනවා. තේ වගාව පිණිස මෙරටට රැගෙන ආ ඉන්දියානු ජාතිකයන්ට පසුව සිරිමා – ශාස්ත‍්‍රී ගිවිසුමෙන් මෙරට පුරවැසිභාවය හා ඡන්ද බලය ලැබුණා වගේ මේ රැකියා සඳහා එන පිරිසටත් ඡන්ද බලය හා පුරවැසිභාවය ලබාදේවි.

මේ සීපා ගිවිසුමෙන් අපේ රටට එල්ලවන ප‍්‍රහාරයට අපි ජාතියක් ලෙස මුහුණදිය යුතුව තිබෙනවා. මේ ගිවිසුම අත්සන් තැබුවොත් ඒක අනෙක් පැත්තට හරවන්න බැහැ. මේ විදිහට ශ‍්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ ඉන්දියානුවන්ට සම්පූර්ණයෙන්ම විවර කරලා දනුෂ්කොඩි පාලමත් හදපුවාම ඒක හරියට ‘පනින රිලවුන්ට ඉනිමං බැන්දා’ වගේ තියේවි. අවුරුදු 15-20ක් යනකොට මේක ඉන්දියාවේ පූර්ණ දේශපාලන ප‍්‍රාන්තයක් වේවි. මෙතෙන්ටයි ‘වයිබර් තාක්‍ෂණය’ පාවිච්චි කරමින් මේ කුමන්ත‍්‍රණකරුවන් විසින් මේ රට ඇදගෙන යමින් තිබෙන්නේ. මේක තමයි ජනවාරි 08 වැනිදා තමන්ගේ ජයග‍්‍රහණයට ඉන්දියාව ලබාදුන් සහයෝගයට ඔවුන්ට ලබාදෙන පගාව.

මේ ගිවිසුම අත්සන් කරන්න ඉඩ දෙන්න එපා!. අපි මේ රටේ ව්‍යාපාරිකයන්, විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු සෑම සමාජ බලවේගයකටම ආරාධනා කරනවා ‘දේශපාලන කෝණයෙන් බලන්නේ නැතිව රටක් ජාතියක් ලෙස හිතලා මේ සීපා ගිවිසුමට එරෙහිව සමගි සම්පන්නව නැගී සිටින්න’ කියලා’’

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p