මම බුදු සරණ යන්නට කැමැත්තෙමි

September 10, 2015

සන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණය මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත කෙරෙන චිත්‍රපටයක්. ජාත්‍යන්තර සිනමා උළෙල රැසක සම්මානනීය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ ඉන්දීය රංගන ශිල්පිනියක වන අංජලී පාටිල් විසින්. ඇයගේ එම රංගනය 2012 වසරේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් රජත මයුර සම්මානයටද පාත්‍ර විය. ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයෙකුගේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් ඉන්දීය නිළියක් හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍රවීම සේ්ම ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූ ළාබාලතම රංගන ශිල්පිනිය වීමේ භාග්‍යයද හිමිවන්නේ ඇයටයි.

චිත්‍රපටයේ රූගත කිරීම්වලින් පසුව අංජලී යළිත් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ මංගල දර්ශනය වෙනුවෙනි. එම අවස්ථාවේදී සරසවිය පාඨක ඔබ අමතන්නත් ඇය අමතක කළේ නැහැ.

 

ඔබ ඉන්දීය රංගන ශිල්පිනියක්. ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයකට දායක වෙන්න ඔබ තීරණය කළේ ඇයි?

මම ගොඩක් වාසනාවන්ත තරුණියක්. රංගන ශිල්පිනියක් ලෙසිනුත් මට ඒ වාසනාව ලැබුනේ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ නිසා. ශබ්ද පරිපාලක තපස් නායක් විසින් කළ දැනුම්දීමක් අනුව තමයි ප්‍රසන්න විතානගේ මා හඳුනා ගත්තේ. ඔහු මගේ ප්‍රථම සිනමා රංගන ඇතුළත් ‘දිල්ලි ඉන් අ ඩේ’ චිත්‍රපටය නරඹා තිබුණා. පසුව කළ දැනුම්දීමක් අනුව තිර පරීක්ෂණය සඳහා මම බොම්බායේ සිට චෙන්නායි වෙත ආවා. මම ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ පිටපත බැලුවා. ඒක ඉතාම ලස්සන පිටපතක්. මම දුටු හොඳම පිටපතක්. චිත්‍රපටය කුමන භාෂාවෙන්ද කියන එක මට වැදගත් වුණේ නැහැ. පිටපතෙන් ලැබූ අවබෝධය අනුව මම මේ චිත්‍රපටයේ රඟපාන්න තීරණය කළා. ඇත්තටම ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය මට ලැබුණු වටිනාම ත්‍යාගයක්.

මෙහි සෙල්විගේ චරිතය ඔබ සම්මානනීය කළා?

2012 වසරේදී ගෝවාහි පැවැති ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබීම මගේ ජීවිතයේ ගොඩක් සතුට දැනුණු අවස්ථාවක්. මේ සම්මානයේ ගෞරවය මම අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේට ලබා දෙනවා. මොකද මම විශ්වාස කරන්නේ මා සම්මානනීය කරවූයේ ඔහුගේ අධ්‍යක්ෂණය නිසා බවයි.

මෙම චිත්‍රපටය තුළ ඇතුළත්ව තිබෙන්නේ දෙබස් ඉතාම සුළු ප්‍රමාණයක්. එහිදී බෙහෙවින්ම වැදගත් වුණේ රූපයයි. ඔබ මේ අභියෝගය ජය ගත්තේ කොහොමද?

ඇත්තටම ඒක විශාල අභියෝගයක්. මම කළේ ඒ මොහොතේ ඒ චරිතය තුළ ජීවත් වීමයි. අභිනයෙන් හැඟීම් ප්‍රකාශ කිරීම ඉතාම වගකීමෙන් කළ යුතුයි. මෙම චිත්‍රපටයේදී ගොඩක් ඇස් සහ මුහුණෙන් තමයි හැඟීම් ප්‍රකාශ කරන්න තිබුණේ. නමුත් මම අධ්‍යක්ෂවරයාගේ උපදෙස් අනුව මේ චිත්‍රපටය තුළ මට මගේ රංඟන කාර්යය ඉතාම සාර්ථක අයුරින් කරන්න හැකි වුණා. ඒ වගේම වැඩිය කතා නොකර ඉන්න මම කැමැතියි. සැබෑ ජීවිතයේත් මම වැඩිය කතා කරන කෙනෙක් නොවෙයි.

ඔබ ඉන්දීයානු නිර්මාණ කිහිපයකටත් දායක වෙලා තියෙනවා. ඒ අත්දැකීම් ගැනත් අපි කතා කරමු?

මගේ මුල්ම සිනමා රංගන ඇතුළත් වුණේ 2011 වසරේ ‘දිල්ලි ඉන් අ ඩේ’ චිත්‍රපටයේ. ඒක හින්දි චිත්‍රපටයක්. ඊට පසුව ‘ග්‍රීන් බැන්ගල්ස්්’ නම් හින්දි චිත්‍රපටය සහ ‘ප්‍රත්‍යායම්’ නම් තෙළිඟු චිත්‍රපටයකටත් දායක වුණා. 2012 වසරේදී ‘චක්‍රව්‍යුහ්’ හින්දි චිත්‍රපටය ඇතුළුව මලයාලම් , හින්දි සහ කණ්ණඩ චිත්‍රපට කිහිපයක දායක වෙලා තියෙනවා. සම්මාන උළෙල රැසකදී ‘දිල්ලි ඉන් අ ඩේ’ සහ ’චක්‍රව්‍යුහ්’ චිත්‍රපටවල මගේ රංගනයන් හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය ලෙසින් නිර්දේශ වුණා.

ඉන්දිය සිනමාව කියන්නේ වෙනස්ම ජීවිතයක්. ඒ තුළ දකින්න තිබෙන්නේ වෙනස් හැඩයක්. ප්‍රාන්තයෙන් ප්‍රන්තයට වුණත් ලොකු වෙනස්කම් තියෙනවා. මම වැඩියෙන්ම කැමැති ස්වාධීන චිත්‍රපටවලට දායක වීමටයි.

ප්‍රකාශ් ජා අධ්‍යක්ෂණය කළ ‘වක්‍රව්‍යුහ්’ චිත්‍රපටයේ ත්‍රස්තවාදි කල්ලියක සාමාජිකාවක ලෙසින් ඔබ අපූරු රංගනයක් ඉදිරිපත් කළා. ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ රංගනයත් සමගින් මේ චිත්‍රපට අතර ඔබේ රංගනයේ වෙනස දකින්නේ කොහොමද?

මුවැත්තියෙකුගේ මෙන් වූ දෑස මා මෙම චිත්‍රපටයට තෝරා ගන්න හේතු වූ බව ප්‍රසන්න විතානගේ වරෙක පැවසුවා. ඒ වගේම රංඟනයට පෙර උපදෙස් දුන්නෙත් මුවැත්තියෙක් සේ රංගනයේ නිරතවිය යුතු බවටයි. නමුත් චක්‍රව්‍යුහ් චිත්‍රපටය මෙයට වඩා හාත්පසින්ම වෙනස්. ඒ තුළ මම ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරී සාමාජිකාවක්. ඒ චරිතය හරියට සිංහයෙක් වගෙයි. මේ තරම් විශාල වෙනස්කම් සහිත චරිත ද්විත්වයක් ලබන්න මම ගොඩක් වාසනාවන්ත වුණා.

‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය ගැන ඔබේ පෞද්ගලික මතය කුමක්ද?

මගේ පුද්ගලික හැඟීම නම්, මේ චිත්‍රපටයේදී මට ඉතිහාසයට සහ අනෙකුත් කරුණුවලට වඩා වැදගත් වුණේ මේ සැබෑ චරිත දෙකයි. ඔවුන් ලැබූ අත්දැකීමයි. ඉතිහාසය ඔවුන්ගේ අතීතයට යම් හානියක් කර තිබෙනවා. එය ඔවුන්තේ ආදරයටත් හාහිකර තිබෙනවා. මට වැදගත් වුණේ ඒ ආදරය විනාශ වෙලා ගියේ කොහොමද කියන කාරණාවයි. ඒ වගේම කොහොමද එය දුක්බර ආදර කතාවක් වුණේ කියන එකයි.

මෙහිදී යුද්ධය නිසා දෙමළ ජනතාව මුහුණ දුන් පීඩාව ගැන කියනවා. ඒ අත්දැකීම් ගැන ඔබට යම් අවබෝධයක් තිබුණාද?

ඇත්තෙන්ම ඔව්. තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය ගැන මම දැන සිටියා. ඒ වගේම එහිදී සිදු වූ සිදුවීම් ගැනත් දැන ගන්න ලැබුණා. නමුත් ඒ පිළිබඳ මම වැඩියෙන් හොයන්න ගියේ නැහැ. ඒ වගේම ඒවා හාරා අවුස්සන්න මට ඕනි වුණේ නැහැ. මේ චිත්‍රපටය යුද්ධයේ විස්තර ගෙන එන නිර්මාණයක් නොවෙයි. මේ චිත්‍රපටය කතා කරන්නේ යුද්ධය නිසා මිනිසුන්ට නැතිවුණු දේවල් ගැන නොවෙයි. ඔවුන්ගේ හැඟීම් ගැන විතරයි.

මෙම චිත්‍රපටය තුළ සිංහල සහ දෙමළ දෙබස් උච්ඡාරණයත් සිදු කළේ ඔබ විසින්මයි. ඔබ එය ප්‍රගුණ කළේ කෙසේද?

මම සිංහල භාෂාව වගේම දෙමළ භාෂාවත් කිසිම දවසක කතා කරලා නැහැ. මගේ මව් බස මරාති භාෂාවයි. මගේ දෙවැනි බස හින්දි භාෂාව සහ ඉංග්‍රීසි තෙවැනි භාෂාවයි. ඉන්දියාවේ දෙමළ චිත්‍රපට වලදීවත් මම දෙමළ භාෂාවෙන් දෙබස් කවා නැහැ. ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේදී මම මුලින්ම බැලුවේ දෙබස් කොපමණ තිබෙනවාද කියලයි. මේ තුළ ගොඩක් දෙබස් නැති වීම වාසියක් වුණා. මොකද ගොඩක් දෙබස් තිබුණා නම් මම එහෙම නොකරන්නත් ඉඩ තිබුණා. මෙහි සිංහල සහ දෙමළ හැම දෙබසක්ම මම මරාති සහ ඉංග්‍රීසි භාෂාවලින් ලියා ගත්තා. ඒ වගේම හැම වචනයකම තේරුම අවබෝධ කර ගත්තා. වඩා වැඩි පීඩනයක් යෙදිය යුතු තැන් විශේෂ කර ගත්තා. මේ නිසා මට දෙබස් කැවීම සාර්ථක කර ගන්න හැකි වුණා.

ඔබ ඉන්දියානුවෙක්. මේ චිත්‍රපටයේ ඔබ සමඟින් රංගනයේ යෙදෙන ප්‍රධාන නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු ශ්‍රී ලාංකිකයෙක්. රංගනයේදී ඔබට මේ දුරස් බව දැනුණේ කෙසේද?

මේ චිත්‍රපටය තුළ රංගනයේදී අපි දෙදෙනා රටවල් දෙකක කියන වෙනස මට කොහෙත්ම දැනුණේ නැහැ. ඇත්තටම ශ්‍යාම් සමඟ රඟපාන්න ලැබීම මට සතුටක්. ඔහු මා සමඟ රංගනයේ නිරත වූ හොඳම නළුවෙක්. ඔහු ඉතාම සහයෝගී පුද්ගලයෙක්. ඒ වගේම මහන්සි වී වැඩ කරන කෙනෙක්. හැම දර්ශනයක් අවසානයේදීම ඔහු මා සමඟින් ඊළඟ දර්ශනය ගැන සාකච්ඡා කළා. මා තිරයේ කළ හැම දෙයකම ගෞරවය අධ්‍යක්ෂවරයාට වගේම ශ්‍යාම්ටත් හිමි විය යුතුයි.

ඔබ නැතුව ඔබ එක්ක ඉන්දියාවේත් තිරගත කළා. ඒ පිළිබඳ ඔබේ අත්දැකීම් මොනවාද?

මේ චිත්‍රපටය ඉන්දීය ප්‍රේක්ෂකයන්ට ඉතාමත් තදබල චිත්‍රපටයක්. එය සෙමින් ගමන් කළත් එහි යම් තීව්‍ර බවක් දකින්න තිබෙනවා. ඉන්දියානුවන් බොලිවුඩ් චිත්‍රපටවලට හුරු වූ පිරිසක්. ඔවුන්ට මෙය යුරෝපිය චිත්‍රපටයක් වගෙයි. ඒ වගේම ශ්‍රී ලාංකේය මනසට ප්‍රවේශයක්.

මේ සිනමා නිර්මාණයේ තිබෙන්නේ දුක්බර අවසානයක්. ඔබට එය හැඟෙන්නේ කෙසේද?

සැබෑ ජීවිතයේදීත් අපට හැමවිටම සතුට ලැබෙන්නේ නැහැ. යම යම් අවස්ථාවලදී ජීවිතය දුක්බරයි. මේ චිත්‍රපටය ඒ වගේ දුක්බර අවස්ථාවක්. බොහෝ සිනමා නිර්මාණවල අපි දකින්නේ සුඛාන්ත. ඒ නිසා සැම විටම එය එසේ විය යුතු යැයි අපි හිතනවා.

ඔබේ මනසට මෙහි අවසානය දැනෙන්නේ කෙළෙසින්ද?

මට සෙල්විගේ චරිතයට ආදරය කරන්න බැරි වුණේ ශ්‍යාම්ගේ රංගනය නිසා. මටවත් මෙහි මගේ චරිතයට ආදරය කරන්න බැරි වුණා. ඒ වගේම මට මේ චරිතයට කැමැති වෙන්නත් බැරි වුණා. මේ තරම් ආදරය කරන මිනිසෙක් අතහැර යන්නේ කොහොමද කියලා මම ගොඩක් ඇඬුවා. මේ දෙදෙනාම එකිනෙකාට ගොඩක් ආදරය කළා. මම හිතන්නේ ඔවුන් එකිනෙකා සමඟ ජීවත් විය යුතු බවයි. ඇත්තටම ඒ මම නම් එකිනෙකා සමඟ ජීවත් වෙන්න උත්සාහ කරනවා.

ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණය ගැන ඔබේ අදහස?

ඔහු මට හමු වූ හොඳම අධ්‍යක්ෂවරයෙක්. ඔහු මගේ රංගන ශෛලිය වෙනස් කළා. මගේ සිතීමේ හැකියාවත් වැඩි දියුණු කළා. ඔහුගේ අධ්‍යක්ෂණය තුළ මා උගත් දේ බොහෝයි. ප්‍රසන්න විතානගේ වැනි අධ්‍යක්ෂවරයෙක් සමඟ කටයුතු කරන්න ලැබීම සතුටක් වගේම වාසනාවක්.

ඔබ ප්‍රසන්න විතානගේ සහ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරු අතරේ දකින වෙනස?

ඉන්දියාව සහ ලංකාව කියන්ගේ වෙනස් රටවල් දෙකක්. මේ රවටල් දෙකේ සංස්කෘතිය වෙනස්. තියෙන දේශපාලන වටපිටාව වෙනස්. මේ කාරණා කලාකරුවෙකුගේ පසුබිම වෙනස් කරනවා. කලාකරුවෙක් ලෙසින් ඔහු මේ පරිසරයේදී මුහුණ දුන් දේ ඉන්දියාවේ අධ්‍යක්ෂවරයෙකුට වඩා වෙනස්. ඒ වගේම ඔහුගේ ක්‍රමය, අදහස් වෙනස් වෙනවා.

ඔබේ පෞද්ගලික තොරතුරුත් දැන ගන්න කැමැතියි?

තාත්තා, අම්මා මගේ පවුලේ විශේෂයි. මගේ සහෝදරයා විවාහකයි. ඔහුගේ බිරිඳත් මට ගොඩක් ළෙංගතුයි. මගේ සහෝදරිය ජීවත්වෙන්නේ ලොස්ඇන්ජලීස්වල. ඇය චිත්‍රපට නිර්මාණකාරියක්. අමෙරිකානු ජාතිකයෙක් වන ඇයගේ සැමියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මගේ අයියාගේ පුතා තමයි මගේ ජීවිතේ. මට දැනෙන ලොකුම වේදනාව ඔහුගෙන් ඈත් වෙලා ඉන්න සිදුවෙන එක තමයි.

ඔබ බුදු දහමට සමීප මට දැන ගන්න ලැබුණා?

මම හින්දු භක්තිකයෙක්. බුදු දහම මම අධ්‍යයනය කරනවා. නිරතුරුවම පන්සිල් ආරක්ෂා කරනවා. මම බෞද්ධාගමිකව පූජා පවත්වන්නේ නැහැ. ඒ වුණත් බුදුදහම අනුගමනය කරන්න මම ගොඩක් කැමැතියි.

ඔබ බෙහෙවින් නිදහස ප්‍රිය කරන කෙනෙක්?

මම සැතැප්ම සිය ගණනක් දුර රෝයල් එන්ෆීල්ඩ් බයික් එකෙන් ලඩාක් වලට යනවා. හිමාලය තියෙන්නේත් ඒ ළඟ. ඒ අතරතුර විවිධ ගම්වල මම සැරිසරා තිබෙනවා. මම නගරයේ ජීවත් වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. මට නගරයේ ජීවත් වෙන්න බැහැ. මම නගර ප්‍රිය කරන්නේ නැති නිසා හිමාලය වැනි සුන්දර ස්ථාන වලට බෙහෙවින් ප්‍රිය කරනවා. නගරවල ජීවිත් වෙන පුද්ගලයන්ට කිසි කෙනෙක් ගැන හිතන්න වෙලාවක් නැහැ. නගරයේ තියෙන්නේ ව්‍යාජ බවයි. ගම්මානවල ජීවත්වන මිනිසුන් අප විමසනවා. ඔවුන් “ඔබට කොහොමද?” කියා අසන විට ඔවුන්ගේ අව්‍යාජත්වය හිතට දැනෙනවා. නගරයේ සියල්ලන්ම මුදල් පසුපස හඹායන තරගයකයි සිටින්නේ. මට මිනිසුන් වෙනුවෙන් ජීවත්වීමට අවශ්‍යයයි. කෘත්‍රිම නොවී සැබෑ ජීවිතයක් ගත කිරීමට නිදහසින් පිරි ගමට මම වඩාත් කැමැතියි.

මේ අයුරින් ජීවිතය දකින ඔබට යොවුන් ප්‍රේමය දැනෙන්නේ කොහොමද?

පේ‍්‍රමය කියන්නේ ජීවිතයෙන් විශාල කොටසක්. මමත් සැමවිටම ආදරයෙන් සිටිනවා. ආදරය කරනවා.

ඔබේ ආදරය දිනූ ඔහු කවුද?

මගේ ප්‍රේමය බැඳී තිබෙන්නේ සුන්දර ස්ථාන, විනෝදයෙන් පිරි ගමන් සහ පොත් සමඟයි. ජීවිතයේ වැදගත්ම බලය ආදරය යි. ඒ නිසා අපි ආදරය කළ යුතුයි.

ඉන්දීය නිළි පූජා උමාශංකර් අද සිංහල සිනමාවේ විශේෂ චරිතයක්. ඒ වගේම ලාංකේය රූ රැජන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් බොලිවුඩ් සිනමාවේ ඉහළින් වැජඹෙනවා. ඔබත් දැන් ඉන්දිය සිනමාවට වගේම සිංහල සිනමාවටත් සමීපයි. එහි ඉදිරිය ඔබ සකසා ගන්නේ කෙසේද?

ඒක නම් මට දැන්මම කියන්න අමාරුයි. මට අනාගත බලාපොරොත්තු නැහැ. මම ගොඩක් කැමැත්තෙන් චිත්‍රපටයක් නිම කලා විතරයි. මම මීට වඩා ශ්‍රී ලංකාවේ වැඩ කරන්න කැමැතියි. යළිත් ආරාධනාවක් ලැබුණොත් සිංහල චිත්‍රපටයක රඟපානවා. මම ශ්‍රී ලංකාවේ උඩරට නැටුම් වලට ගොඩක් කැමැතියි. ඒවගේම ඒවා හදාරන්නත් ආසාවෙන් ඉන්නේ. පසුගියදා යාපනයේදී ඔබ නැතුව ඔබ එක්ක තිරගත කළා. මටත් ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබුණා. යාපනයට ගිය ඒ ගමන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මහනුවර, අනුරාධපුර, ගාල්ල වැනි ප්‍රදේශවල ඇවිදින්නත් තියෙන්නේ ලොකු ආසාවක්. ඔබ නැතුව ඔබ එක්ක රූගත කළ බගවන්තලාවටත් ආයමත් යන්න කැමැතියි. මට ආයෙමත් එන්න ලැබේවි කියලා මම හිතනවා.

සිංහල සිනමාව ගැන ඔබේ අවබෝධය කුමක්ද?

එය බොලිවුඩ් වගේම නොවෙයි. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ දැවැන්ත සිනමා නිර්මාණ වගේම ස්වාධීන සිනමා නිර්මාණත් තිබෙනවා. මිත්‍යා කතන්දර පාදක කරගත් නිර්මාණත් දකින්න පුළුවන්. මේ හැමතැනදීම ස්වාධීන චිත්‍රපට අර්බුදයකට මුහුණ දෙනවා. ඔවුන්ගේ චිත්‍රපට තිරගත කරන්න අපහසුයි. මගෙත් චිත්‍රපට දෙකක් මුදාහරින්න තවමත් මඟබලා ගෙන සිටිනවා. ඒ දෙකම ස්වාධීන චිත්‍රපට. චිත්‍රපට උළෙල ගණනාවක්ම ඒවා නියෝජනය කළත් මුදාහැරීම ගැටළුවක්. මෙහෙත් ඒ ප්‍රශ්නයම තියෙනවා. මගේ අවබෝධය නම් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ සංවේදිතාවය ඉන්දියාවට වඩා ඉහළයි. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත තිබෙනවා. කොලිවුඩ්, බොලිවුඩ්, ට්‍රොලිවුඩ් ලෙසින් සිනමාව බෙදීලා. ස්වාධීන චිත්‍රපට සාර්ථක වන්නේ විශාල නගරවල විතරයි. නමුත් ශ්‍රී ලංකාවේ ජාතියක් හැටියට ස්වාධීන චිත්‍රපටවලට සංවේදීතාවයක් දක්වනවා. ඒ නිසා ස්වාධීන චිත්‍රපට වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හොඳ තැනක් තිබෙන බව මගේ හැඟීමයි.

ලාංකේය රසික රසිකාවන්ට ඔබ දෙන පණිවුඩය?

තවම මට ශ්‍රී ලංකාවේ රසික රසිකාවන් සිටින බව මම හිතන්නේ නැහැ. නමුත් මගේ චිත්‍රපටය නැරඹු පසු මටත් ආදරය කරන රසික රසිකාවන් මෙහි සිටීවි. ඔවුන් මේ චිත්‍රපටයට කැමැති වේවි කියා මා සිනවා. ඒ නිසා මට ඔවුන් හමු වෙන්න ආයෙමත් මේ රටට එන්න ලැබේවි කියා සිනවා. ඇත්තටම ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය නැරඹු ප්‍රේක්ෂකයන් හමු වෙන්න මම ලොකු ආසාවකින් ඉන්නේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p