වී ගොවියාට තම නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබාදීම සඳහා සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම සඳහා ආණ්ඩුව සතු දිගු කාලීන වැඩපිළිවෙළ කුමක්දැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විමසයි.
අද (03) පාර්ලිමේන්තුවේදී වී ගොවියා මුහුණදෙන ගැටළු පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම නිසා වී ගොවීන් මුහුණදී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
සාමාන්‍යයෙන් අපේ රටේ වී ගොවීන් විසින් මහ කන්නයේ මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 35ක්ද යල කන්නයේ
මෙටි‍්‍රක් ටොන් 30ක්ද වශයෙන් වර්ෂයකට මෙ.ටො. ලක්ෂ 65ක වී අස්වැන්නක් නිෂ්පාදනය කරනවා.
මහත් අපහසුතා මැද රටට බත සපයනු ලබන මෙම ගොවීන්ගේ අස්වැන්නෙන් සැබැවින්ම රජය විසින් මිලදී ගනු ලබන්නේ 5%කට ආසන්න ප‍්‍රමාණයක් පමණයි. 95%කට වැඩි ප‍්‍රමාණයක් පෞද්ගලික අංශයට විකිණීමට ඔවුනට සිදුවෙනවා. 2013 වර්ෂයේ රජයේ සංඛ්‍යාලේඛන අනුව වී කිලෝවක නිෂ්පාදන වියදම රු. 33.29යි. එහෙත් අතිවිශාල වී නිෂ්පාදනයක් මිලට ගනු ලබන පෞද්ගලික අංශය වී මිලට ගනු ලබන්නේ ගොවීන්ගේ මෙම නිෂ්පාදන වියදමටත් වඩා අඩු මුදලකටයි. නිදසුනක් ලෙස මෙම කන්නයේදී පෞද්ගලික අංශය අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රීකුණාමලය වැනි ගොවි දිස්ත‍්‍රික්කවලදී වී මිලදී ගනිමින් සිටින්නේ රු. 28-30 වැනි මුදලකටයි. හම්බන්තොට, අම්පාර වැනි ප‍්‍රදේශවලදී මෙම අගය රු. 24ක් තරම් පහළ අගයක්.
ආණ්ඩුව විසින්ද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී සම්බා කිලෝවක් සඳහා රු. 50ක්ද නාඩු කිලෝවක් සඳහා රුපියල් 45ක්ද ගෙවන බව සඳහන්. එහෙත් සමස්ත වී නිෂ්පාදනයෙන් 5%ක් තරම් වන මෙම මිලදී ගැනීමේ සීමා රැසක් පවතිනවා. ඒ, මෙම ක‍්‍රියාවලියට ඇතුල්වීම සඳහා ගොවීන්ට විඳින්නට සිදුවෙන දුෂ්කරතාවලට අමතරවයි. රජය විසින් උපරිම ලෙස මිලදී ගනු ලබන්නේ එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000ක් පමණයි. උතුරුමැද පළාත, කන්තලේ, අම්පාර, මොණරාගල වැනි ප‍්‍රදේශවල ගොවීන්ගෙන් බහුතරයක් වෘත්තීය වී ගොවීන්. පොළොන්නරුව වැනි තැනක බොහෝ ගොවීන්ගේ කුඹුරු අක්කර 05ක පමණ විශාලයි. ඔවුන්ගේ වී
නිෂ්පාදනය කිලෝ 10,000-15,000ක් පමණ වෙනවා.
ආණ්ඩුවේ වී මිලදී ගැනීමේ කිලෝ 2000ක සීමාව මෙම ගොවීන් දැඩි අපහසුතාවයකට ඇද දමා තිබෙනවා. එසේම මෙම කිලෝ 2000ක වී ප‍්‍රමාණය විකුණා ගැනීම සඳහා පවා ගොවීන්ට අතරමැදියන් හට කොමිස් මුදල් ලබාදීමට සිදුවෙලා. එසේම රජය මිලදී ගන්නා වීවල තෙතමනය 14%ට වඩා අඩු විය යුතුයි. සැබැවින්ම වීවල තෙත ඉවත්කිරීමට ගොවියාට යාන්ත‍්‍රණයක් නැහැ. ගබඩාකරණය තුළදී නරක් වීමට බලපාන්නේද මෙම තෙත සහිත වී තොගයි. වී වගාකරන වෙනත් වෙනත් රටවල තෙත ඉවත් කරන මහා පරිමාණ යන්ත‍්‍ර තිබෙනවා. එය වෙනම කර්මාන්තයක්. රජය ඊට මැදිහත් විය යුතුයි.
මීළඟ ප‍්‍රධානම ප‍්‍රශ්නය වනුයේ වී මිලදී ගැනීමට ප‍්‍රමාණවත් මධ්‍යස්ථාන සංඛ්‍යාවක් නොතිබීම, තදබදය හා ගබඩා පහසුකම් ප‍්‍රමාණවත් නොවීමයි. වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ප‍්‍රමාණවත් නොවන බවට ගොවීන් විසින් චෝදනා කරනවා. පෙර අවස්ථාවලදී ගොවිජන සේවා මධ්‍යස්ථාන මූලික කරගනිමින් සිදුවූ මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය මෙවර නතර වී තිබෙනවා. ඒ නිසාම සීමිත මධ්‍යස්ථාන ප‍්‍රමාණය වෙත තදබදයක් නිර්මාණය වෙලා. ගිරිතලේ, මහකනදරාව, මින්නේරිය, කන්තලේ වැනි ගොවි ජනපදයන්හි වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇත්තේ එක බැගිනුයි. එම මධ්‍යස්ථානවලද වී පරීක්ෂා කිරීමේ යන්ත‍්‍ර, බිල් ලිවීමේ පහසුකම් සහිත කවුන්ටර් ඇත්තේ එක බැගින්. ඒ නිසාම මධ්‍යස්ථාන අසල දවස් ගණන් දීර්ඝ පෝලිම් නිර්මාණ වෙලා.
එසේම මේ වන විට බොහෝ ගබඩා පවතින්නේ එවායේ උපරිම ධාරිතාවයට ළඟාවෙමිනුයි. මහකනදරාව ගබඩාවට තවදුරටත් වී මිලට ගත නොහැකි තරම් බව පැවසෙනවා. සැබැවින්ම රජයට මිලදී ගත් වී තොග සහල් බවට පෙරළීමේ තමන්ගේම වූ යන්ත‍්‍රණයක් නැහැ. පසුගිය මහ කන්නයේ වී තවමත් ගබඩාවල තිබීමට හේතුව එයයි. ඒවා ගබඩා තුළම හානියට පත්වෙමින් ඇති බවට ජනමාධ්‍ය විවිධ අවස්ථාවල වාර්තා කිරීමෙන්ද මේ බව පැහැදිලියි. ඔයාමඩුව වැනි වී ගබඩා හිස් නොවීම නිසා වී මිලදී ගැනීමේ ක‍්‍රියාවලියට බාධා පැමිණෙනවා.
පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවූයේද රජයේ වී තොග, සහල් බවට පෙරළා ගබඩා හිස් කිරීමක් නෙමෙයි. ඒවා පාඩු පිට අතරමැදියන්ට විකුණා ගබඩා හිස්කරගැනීමකුයි. අවම වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට එම වී තොග විකුණා දැමීමෙන් නෙමෙයි. පසුගිය සමයේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 400ක් පමණ වසා දැමුණා. බොහෙමයක් පරණ යකඩවලට විකුණා දැමුණා. දේශපාලන සම්බන්ධකම් මත ඒකාධිකාරයන් ගොඩනගාගෙන ඇති මහා පරිමාණ සහල් මෝල් අතළොස්සකට ආණ්ඩුව පාඩු පිට වී තොග විකුණා දැමුවා. සැබැවින්ම රජයේ වී ගබඩා පවතින්නේ මහා පරිමාණ මොල් හිමියන්ගේ තාවකාලික ගබඩා වශයෙනුයි.
සහතික මිලක් නියම කිරීමෙන් වී කිලෝවක් සඳහා ගෙවිය යුතුව ඇති මුදල රජය විසින් ප‍්‍රකාශයට පත්කළද එය නීතිගත නොකිරීමෙන් ගොවීන් බරපතළ අසාධාරණයකට ලක්වෙනවා. ගොවීන්ට තමන්ගේ ණය පියවා ගැනීම සඳහා නිෂ්පාදන වියදමටත් අඩුවෙන් පෞද්ගලික අංශයට වී අලෙවි කිරීමට සිදුවන්නේ මේ නිසයි. සහතික මිලක් නීතිගත වී තිබුණේනම් ගොවීන්ගේ වී තොග කූට ව්‍යාපාරිකයින්ට කොල්ලකෑමට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ දෙබිඩි ස්වභාවයයි. නීතිගත සහතික මිලක් නොමැති වීම නිසා මහා පරිමාණ ව්‍යාපාරිකයින් ගොවීන්ගේ වී තොග නොවටිනා මිලකට තමන් සතු කරගනිමින් වෙළඳපොළේ කෘත‍්‍රිම සහල් හිඟයකින් අයුතු ලාභ ගරනවා. මෙයින් වී ගොවියාට තමන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් නොලැබෙනවා පමණක් නොව පාරිභෝගිකයාට වෙළඳපොළෙන් සාධාරණ මිලකට සහල් මිලට ගැනීමට අවස්ථාවත් නොලැබී යනවා. වී ගොවීන් පමණක් නොව පොදුවේ සහල් පරිභෝජනය කරන රටේ සියලූ ජනතාව වෙනුවෙන් මෙම ගැටළු කෙරෙහි කඩිනමින්
මෙම සභාවේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටළුවලට පිළිතුරු ආණ්ඩුව විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
01. රජය මැදිහත්වීමෙන් එක් එක් ගොවියෙකුගෙන් මිලට ගනු ලබන වී ප‍්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කරන්නේද?
02. ගොවීන් වෙනුවෙන් වීවල තෙතමනය ඉවත්කිරීමේ යන්ත‍්‍ර හඳුන්වාදීමට පියවර ගනු ලබන්නේද?
03. වී මිලට ගැනීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව හා ඒවායේ මිලදී ගැනීමේ පහසුකම් වැඩි කිරීමට කටයුතු කරන්නේද?
04. වී තොග සහල් බවට හැරවීමට, පිරී ඇති ගබඩා හිස් කිරීමට හා යල කන්නයේ වී තොග මිලට ගැනීමට ආණ්ඩුව සතු කෙටි කාලීන වැඩපිළිවෙළ කුමක්ද?
05. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් වෙත ආණ්ඩුවේ වී තොග ලබාදීමට පියවර ගන්නේද?
06. වී සඳහා වන සහතික මිල නීතිගත කිරීමට මෙතෙක් කටයුතු කර නැත්තේ මන්ද?
07. වී ගොවියාට තම නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබාදීම සඳහා සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම සඳහා ආණ්ඩුව සතු දිගු කාලීන වැඩපිළිවෙළ කුමක්ද?
Leave a comment