සැබෑ වෙනසක් වෙනුවෙන් වමේ බලයක් ගොඩනගමු

August 4, 2015

පුත්තලමේ ජනතාවට තියෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි ජල ප‍්‍රශ්නේ, දැන් ඔය කුරුණෑගල පැත්තේ ජනතාව කියනවා දැදුරු ඔයෙන් වතුර බොන සත්තුන්ට ලැබෙන පැටව් විකෘති පැටව් කියලා, මිනිස්සුන්ට වෙන්නේ මොකක්ද? කියලවත් පරීක්ෂණවත් කරලා නෑති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 03 දා පුත්තලමේ පැවැති ජන හමුවකදීය. වෑඩි දුරටත් අදහස් දෑක් වු පුබුදු ජයගොඩ මහතා

පුත්තලම දිස්ත‍්‍රීක්කයේ හලාවත පැත්තේ ජනාතාව දැදුරු ඔයේ ජලය භාවිතා කරනවා, ඒ ජලය දුෂණය වෙලා තියෙන්නේ  ඒ ජල දුෂණයට එරෙහිව අරගල කරා, පරිසරවේදීන් වගේම කුරුණෑගල කොබෙයිගනේ වගේ තැන් වල ජනතාව, දැන් අධිකරණ තීන්දුවක් දීල තියෙනවා, කොබෙයිගනේ ගැන වචනයක් වත් ලිවීම තහනම් කියලා පත්තර වලට අධිකරණ නියෝග දීල තියෙනවා.
වචනයක් වත් ලිවීම තහනම් පත්තර කර්තෘ හිරභාරයට ගන්නවා වචනයක් හරි ලිව්වොත්, නමුත් සමාගම දිගටම අපද්‍රව්‍ය එකතුකරනවා ජලයට, යාපනේ චුන්නාගම් ජනාතාවට එහෙ දාලා විදුලිබලාගාර, ඒ විදුලිබලාගාර ඔක්කොම තෙල් ටික පොළොවට දානවා, චුන්නාගම් ජනතාව ලිඳක් කැපුවට පස්සේ ලිඳෙන් එන්නේ වතුර නෙවෙයි  තෙල්, ඔය බොරු සංවර්ධනය මිනිස්සුන්ගේ ජීවිතේ විනාශ කරන, පරිසරය විනාශ කරන එකට විරුද්ධව චුන්නාගම් ජනතාව උද්ඝෝෂණය කළා. දැන් මේ ඊනියා යහපාලන ආණ්ඩුව ඒකට දුන්න තින්දුව මොකක්ද? අධිකරණ නියෝග අරන් තියෙනවා චුන්නාගම් මිනිස්සුන්ට උද්ඝෝෂණය කිරීම තහනම් කියලා, අඩුම ගානේ අහවල් දිනයක් වෙනකම් කියලාවත් නෑ. ඒකෙන් කියන්නේ මේ ලෝක විනාශෙ වෙනකම් චුන්නාගම් මිනිස්සුන්ට උද්ඝෝෂණය කිරීම තහනම් කියලා ද? ඒකද යහපාලනේ? ඒ නිසා මේ එන කාටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්න බෑ.
හොඳට මතක් කරන්න. මීට හරියටම අවුරුදු දෙකකට කලින් 2013 අගෝස්තු පළවෙනිදා. එතකොට තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව, ස්ථානය රතුපස්වල, මොකද වුනේ, මිනිස්සු ඉල්ලූවේ පිරිසිදු ජලය, අන්තිමේට ලැබුණේ මොණවද? ලැබුණෙ වෙඩි උණ්ඩ, ඉතින් ඒ පාලනය පරාජය කරා, අපිනම් කියන්නේ ඒක පරාජය කලේ නෑ කියලා. ඒක පරාජය කරන්න පාරක් තියෙනවා ඒ ඔය පාර නෙවෙයි. අපි පහුගිය ජනාධිපතිවරණයේදී මේ ගැන කිව්වා. නැත්තන් අදත් මහින්ද රාජපක්ෂ මහත්තයට ඔච්චර නැටුම් නටන්න වෙන්නේ නෑනේ. නමුත් මූණු මාරුවක් උණානේ හරි කියමුකෝ.
දැන් අද යුක්තිය ඉටු වෙලා තියෙනවාද? ඒ අණ දුන්න මිනිස්සු අද ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න කියලා අපි මේ රටේ ජනතාවට කියනවා. එදා මානව හිමිකම් ගැන කතා කරපු අය කොයිද අද? වෙනසක් නෑ නේද? දැන් අපි මේවා කතා කරනකොට යහපාලන හවුල් පක්ෂ වල අය කියනවා ඔය කියන්නේ මහින්ද හොඳයි කියලද? මතක නැද්ද ඒ කාලෙ වෙච්ච දේවල්, වගේ ප‍්‍රශ්න, එයාල කියන්නේ මහින්ද කරපු ඒවා ගැන විතරයි කතා කරන්න  ඕන කියලා. අපි මේ රටේ ජනතාවට කියන්නේ අපිට මහින්ද කරපු ඒවත් මතකයි. ඊට කලින් 88/89 වෙච්ච ඒවත් මතකයි. 71 වෙච්ච ඒවත් මතකයි. 53 වෙච්ච ඒවත් මතකයි, 48 උනේ මොකක්ද? කියලත් හොඳට මතකයි. අර ගම්වල මිනිස්සු කියනවා වගේ මේ රටේ ධනපති පන්තියේ හත්මුතු පරම්පරාවෙම ඉතිහාසය අපිට හොඳටෝම මතකයි.
ඒ නිසා අපි වමේ ව්‍යාපාරයක් විධියට කල්පනා කරන්නේ ඓතිහාසිකව, විශය මූලිකව හා සංයුක්තව, ඒ කියන්නේ අඛණ්ඩ ඉතිහාසයක් ගැන. එහෙම නැතිව අපි ඉතිහාසය පටන් ගන්න තැන එක එක්කෙනාගේ බල උවමණා එක්ක ගැට ගහන් නෑ. ඒකයි අපි ඉතා නිවැරදිව කියන්නේ, එදා පවුල් – මෙදා හවුල්, රටම අවුල්, සැබෑ වෙනසක් වමේ බලයක් කියලා. වමේ ව්‍යාපාර කියන්නේ අර සාමාන්‍ය ජනතාව ඔය සමහර පෞද්ගලික බස් රථ ගැන කියන්නේ එදා වේල ටුවර්ස් කියලා. ඒවගේ එදා වේල වෙනුවෙන් නෙවෙයි වමේ ව්‍යාපාර දේශපාලනය කරන්නේ. මිනිස් සමාජයක විමුක්තිය වෙනුවෙන්. ඒ නිසා අපි ජනප‍්‍රිය නොවෙන්න පුළුවන්, අපිට ඡුන්ද හම්බනොවෙන්නත් පුළුවන් හැබැයි අපි ඒකෙන් නෙවෙයි අපේ ගමන තීරණය කරන්නේ. ඒකයි අපි කියන්නේ අපි කොන්ත‍්‍රාත් බාර ගන්නේ නෑ. සැබෑ වෙනස් වෙනුවෙන් පීඩිත ගොවි, කම්කරු, ශිෂ්‍ය, තරුණ, කාන්තා බලයක් හදන්න  ඕන කියලා.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p