මං ආසයි ළමයි පස් දෙනෙක් හදන්න

August 1, 2015

පුංචි තිරයෙන්, රිදී තිරයෙන් ඔබ හමුවන රුවැත්තිය සංජු රොද්‍රිගෝ නෝනේ මගෙ සුදු නෝනේ – සර්වන්ට්, මායාපටල – සිස්ටර්, සිත් අහස – ඩොක්ටර්, සැබෑ ජීවිතයේ – සංජු රොද්‍රිගෝ මේ ඇයගේ තතු කියවෙන මොහොතයි.

* සංජු, චරිත තුනකින් ඔබ එකවර අප හමුවට එනවා. මොකද හිතෙන්නේ?

මං ඉන්න නිර්මාණ වැඩිම ප්‍රමාණයක් එක දිගට ප්‍රේක්ෂකයා හමුවට ආව ප්‍රථම අවස්ථාව මෙය වන්නට ඇති. මේ චරිත ඔක්කෝටම මගේ රසික රසිකාවෝ ආදරෙයි. ඒ බව මට දැනෙනවා ඔවුන් කියන දේවල්වලින්.

* දිගු කලකට පසු ඔබ සිනමාපටයකින් අප හමුවට එනවා. ඒ මෝනෙ මගේ සුදු නෝනේ?

මේක මගේ සිව්වැනි චිත්‍රපටය. මං එහි මැගී කියන සේවිකාවගේ චරිතය රඟපාන්නේ. මේ දවස්වල ඡන්ද පෝස්ටර් අස්සේ අපේ චිත්‍රපටයේ පෝස්ටරුත් තිබෙනවා. ඒවායින් තමයි ගොඩක් දෙනෙක් මාව හඳුනගෙන තියෙන්නේ. කොහෙම හරි ප්‍රසිද්ධ තැනකට ගියාම මිනිස්සු චිත්‍රපටය ගැන අහනවා. මං ඔවුන්ට සුහදව පිළිතුරු ලබා දෙනවා.

* ලසඳට ඔබ සාධාරණයක් ඉටු කළා කියලා හිතනවාද?

නැහැ. මං රඟපෑවා මදි. මට ඒක දැනුණා චිත්‍රපටය නරඹද්දී. අද ඔය චරිතය ලැබුණා නම් මං මීට වඩා හොඳට කරාවි.

* එදා ඇයි ඔබට ඔබගේ අඩුපාඩු පෙනුණේ නැත්තේ?

අපි දිනෙන් දින පරිනත වෙනවා. එදා මං හිටිය තත්ත්වයට අනුවයි ලසඳට පණ පෙව්වේ. අද මං ටිකක් ඉදිරියට ඇවිත්. ඒ අත්දැකීම් මත ලසඳට ලැබුණා නම් තවත් ලුණු ඇඹුල් දාලා රංගනයේ යෙදෙනවා.

* ඔබට යම් චරිතයකට ආරාධනා ලැබෙද්දී සලකා බලන කරුණු මොනවාද?

මට රඟපාන්න ආරාධනාවක් ලැබෙද්දී මං කරුණු කාරණා කිහිපයක් සලකලා බලනවා. එක මං එය කැමැති චරිතයක් විය යුතුයි. ඊට පසුව එයට පණ පෙවීමෙන් අපේ ගෙදර අයට හානියක් නොවෙනවාද කියලා බලනවා. තවදුරටත් සරලව කිව්වොත් මං රඟපාන්නේ මට පාරෙ බැහැලා යන්න පුළුවන් චරිතයක් විතරයි. මගේ රංගනය මගේ ප්‍රතිරූපයට හානි වෙනවා නම් මං මෙච්චර කල් ගොඩ නගා ගත් කීර්ති නාමයට පලුද්දක්නෙ. ඒ හින්දා මං රඟපාන්න චරිතයකට කතා කරද්දී හොඳට හිතලා බලනවා.

* අද නිළියන්ට ගරුත්වයක් තියෙනවාද?

ඇත්තම කිව්වොත් ගරුත්වයක් නැති තරම්. ඒක වෙලා තියෙන්නේ අපේ කට්ටියගේ අතින්ම තමයි. අපෝ මෙයත් නිළියක්නෙ කියලා කියන කට්ටිය ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒ අතරේ අපට පණ වගේ ආදරය කරන අයත් ඕනෑ තරම්.

* නිළියක් වීම ගැන සතුටුද?

ඔව්. ගොඩක්.

* ඔබව අප මුලින්ම හඳුන ගන්නේ නිවේදිකාවක විදිිහට?

ඉස්සර නම් සෑහෙන්න වැඩසටහන් ප්‍රමාණයක් කළා. දැන් නම් කරන්නේ ස්වර්ණවාහිනියේ හැදෙන හැටි වැඩ සටහන පමණයි.

* රංගනය ද නිවේදනය ද වැඩිපුර අමාරු?

දෙකම.

* දෙකම කිව්වට බැහැ. මට නිශ්චිත පිළිතුරක් ඕනෑ?

එහෙනම් මං මෙහෙම කියන්නම්කො. නිවේදනය ටිකක් අමාරුයි.

* ඇයි ඒ?

අත් දෙක වන වන ගිහින් කැමරාවක් ඉදිරියේ නිවේදන කටයුතු කරන්න බැහැ. ඒ සඳහා පෙර පුහුණු වෙලා වාග් කෝෂය පුරවාගෙන වැඩේට බහින්න ඕනෑ. ඒ වගේම හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි නිවේදනයට.

* ඔබ කියන්නේ රංගනයේ යෙදෙන්න ඉගෙන ගන්න ඕනෑ නැහැ කියලද?

නැහැ නැහැ. රංගනය නිතැතින්ම හැදෑරිය යුතු විෂයක්. නමුත් අපට දර්ශන තලවලදී පිටපතක් ලැබෙනවා. අපිට ඒ අනුව වැඩ කරන්න පුළුවන්.

* නෝනේ මගෙ සුදු නෝනේ රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතකම නොවන අත්දැකීම ගැනයි මං ඊළඟට අහන්නේ?

එක දර්ශනයක් තිබුණා මං බිමට වැටෙන. වීදුරුවකුත් කඩාගෙනයි වැටෙන්න ඕනෑ. කොහොම හරි ඒ දර්ශනය ඉවර වුණේ මගේ අතකුයි කකුලකුයි වීදුරුවට කපාගෙන. මට ඒ මොහොත නම් අමතක වෙන්නේ නැහැ.

* සංජු මං ඔබගෙන් දෙයක් කෙළින්ම අහනවා?

අහන්න.

* ඔබට තියෙන්නේ හරිම ආඩම්බරකාර මුහුණක්?

ඔව්. මං ඒක දන්නවා.

* ඔබ හරිම ආඩම්බරකාරියක් කියලා බොහෝ දෙනෙකු හිතනවා?

ඇත්ත. මං ආඩම්බරයි කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක මූණට නම් කියන්නේ නැහැ.

* ඇත්තටම ඔබ ආඩම්බර කෙනෙක්ද?

ගැහැනු ළමයෙක් වුණාම ටිකක් විතර ආඩම්බරයක් තියෙන්න ඕනෑ. නැතිනම් වැඩක් නැහැ. මම සමහර සෝබනේ දාන අයව ගණන් ගන්නේ නැහැ. ඒ හින්දා ඔවුන් හිතනවා මං හරිම ආඩම්බරයි කියලා. බොරු ෂෝ එක දාන අයට නම් මං කොහොමත් ආඩම්බරකම් දානවා. ඒත් මාව කෙනෙක් හරියට හඳුනා ගත්තොත් ඒ කෙනා මාව දාලා යන්නේ නැහැ. මං කොහොම කෙනෙක් ද කියලා මගේ සමීපතම අය දන්නවා.

* සාමාන්‍යයෙන් සංජුට කෙනෙක් ඇණයක් වුණොත් මොකද කරන්නේ?

ඇණ ගලවන සිස්ටම් එක මං හදාරලා තියෙන්නේ. ඒක හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ.

* එරංග සේනාරත්න තමයි මෝනේ මගෙ සුදු නෝනේ චිත්‍රපටයේ ඩිරෙක්ටර්. ඔහු වැනි අයකු යටතේ චිත්‍රපට දෙකකම රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

එරංග අයියා මාව මුලින්ම ගත්ත චිත්‍රපටය වුණේ ස්විට් ඒන්ජල්. ඊට පසුව තමයි මේක. ඇත්තටම ඔහු ඉතාම නිහතමානී අධ්‍යක්ෂවරයෙක්. ඔහු වැනි අයකු යටතේ වැඩ කිරීමත් සතුටක්. එරංග අයියා අපට නිදහසේ රඟපාන්න අවස්ථාව දුන්නා.

* සංජුගේ දැන් කල වයසත් හරි නේද?

ඒක නම් එහෙම තමයි.

* කවදා විතරද සංජුගේ විවාහය සිදුවන්නේ?

මං ආසයි කවදා හරි ළමයි පස් දෙනෙක් හදන්න. මං බඳින කෙනා කිව්වොත් අපි ළමයි පස් දෙනෙක් හදමු කියලා අන්න එදාට මං විවාහ වෙනවා.

* සංජු මහ අරුම පුදුම කෙනෙක්?

අපේ පවුලේ ළමයි හයක් හිටියා. අපි හය දෙනා අදටත් හරිම සමඟියෙන් ඉන්නවා. මට ඕනෑ ඒ වගේ පවුලක් හදන්න.

* මොනවද සංජුගේ ඉදිරි වැඩ කටයුතු?

සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ඊට අමතරව තේජා සහ දුවන බාබර් කියලා නාට්‍ය දෙකක් එන්න තියෙනවා.

* සංජුට කලාවේ නියැලිලා ලැබෙන මුදල් ජීවත්වන්නට ප්‍රමාණවත්ද?

ඔව්. හොඳටම ඇති. මගේ වටිනාකම අනිවාර්යයෙන්ම අරගෙන තමයි මං රඟපාන්න යන්නේ.

සටහන – ප්‍රසාද් සමරතුංග
සේයාරුව – ශාන් රඹුක්වැල්ල

Sammy

Previous story Next story

Leave a comment

t

o

p