බැර ලෝහ විතරක් නොවේ.. මැගි නූඞ්ල්ස්වල තවත් වසක්..

June 24, 2015

ශ‍්‍රී ලංකාව තුළ මැගී නූඞ්ල්ස් ඇතුළු ක්ෂණික නූඞ්ල්ස්වල බැර ලෝහ වලට අමතරව විෂ සහිත රසකාරකයක් වන Monosodium Glutamate ද අඩංගු ද යන්න සොයා බැලිය යුතු යයි ශ‍්‍රි ලංකා හරිත පක්‍ෂය පවසයි.

එහි සභාපති වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගිය  සතිය තුළ සමස්ථ ඉන්දියාව පුරාම නෙස්ලේ සමාගම විසින් නිෂ්පාදනය කර අලෙවි කරන Maggi වෙළඳනාමය සහිත ක්ෂණික නූඞ්ල්ස් වල ඉතා අධික මාත‍්‍රා වලි Monosodium Glutamate හා ඊයම් අඩංගු බවට එරට රජය විසින් තහවුරු කළ අතර මේ වන විට ඉන්දියන් රුපියල් බිලියනයකට වඩා Maggi වර්ගයේ ක්ෂණික නූඞ්ල්ස් වෙළඳපොලෙන් ඉවත් කර විනාශ කිරීමට එරට බලධාරීන් ක‍්‍රියා කර ඇත.

ශ‍්‍රී ලංකාව තුළද මෙම සමාගම මගින් එම වෙළඳ නාමය භාවිතා කර ක්ෂණික නූඞ්ල්ස් වෙළඳ පොලේ ප‍්‍රමුඛයා වී සිටින්නේ ඔවුන් විසින් කරන දැවැන්ත වෙළඳ ප‍්‍රචාරය නිසා වේ. ලෝක ආහාර වෙළඳපොලේ නෙස්ලේ සමාගම යනු ඉතාමත් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ආහාර නිෂ්පාදන සමාගමක් වේ. එය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට වඩා ලාභය සඳහා බොහෝ අගතිගාමී ක‍්‍රියාවන් සහිත අතීතයක් ඇති ලෝකය තුළම ප‍්‍රසිද්ධ සමාගමක් වේ.

එවැනි සමාගමක් විසින් තම අසල්වැසි රට තුළ මේ සා විශාල ප‍්‍රශ්නයක් ඇති කර  තිබුණද අපගේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් හා නිලධාරීන් මේ වනතෙක් ඒ සඳහා කටයුතු කර නොතිබීම කණගාටුවට කරුණකි.

මෙම බහුජාතික සමාගම් තම නිෂ්පාදන වල අමුද්‍රව්‍ය බොහෝවිට ලබා ගන්නේ එකම මාර්ගයන් වලින් වන බැවින් හා ලාභය සඳහා  ඕනෑම බාල අමුද්‍රව්‍යයක් භාවිතා කිරීමේ සම්භාවිතාවක් ඇති හෙයින් ශ‍්‍රී ලංකාව තුළද ඔවුන් විසින් අලෙවිකරන ආහාර ද්‍රව්‍ය වලද මෙම විෂ සහිත රසකාරක හා බැර ලෝහ තිබිය හැකිය.

බැර ලෝහ යනු ඊයම් පමණක් නොවන අතර මෙම ආහාර තුළ Cadmium හා ආසනික් වැනි බැර ලෝහද තිබීමේ සම්භාවිතාව ඉතා වැඩිය. එමෙන්ම රසකාරක වශයෙන් Monosodium Glutamate වැනි උත්තේජකාරක රසකාරක ඉතා අධික මාත‍්‍රා වලින්  මෙම නූඞ්ල්ස් පැකට් වල අඩංගු වන අතර ඒවා කොපමණද යන්න කිසිවෙකුත් නොදනී. ශ‍්‍රී ලංකාව තුළ මධුමේහය ඇතුළු බෝ නොවන රෝග වල ව්‍යාප්තිය ඉතා ඉහළ අගයක් ගන්නා අතර මෙම බෝ නොවන රෝග වලට ප‍්‍රධාන හේතුකාරක රසකාරකයක් වන Monosodium Glutamate මගින් මධුමේහය ඇති කරන බවට විද්‍යාත්මකව ඔප්පු කර ඇති තත්ත්වයක් තුළද රජය විසින් ඵීඨ භාවිතාව සඳහා අවම භාවිතා මට්ටමක් නිර්දේශ කර තිබීම ගැන අප විස්මයට පත් වන්නෙමු.

අද වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් ශ‍්‍රී ලාංකීය වෙළඳපොලේ ඇති මැගී නූඞ්ල්ස් වල ඊයම් පිළිබඳව සොයා බලන බවට ප‍්‍රවෘත්තියක් පල විය. ඊයම් පමණක් සොයා බැලීමෙන් මෙම ක්ෂණික නූඞ්ල්ස් වලින් ජනතාවට වන අයහපත ගණන් බැලිය නොහැක. විශේෂයෙන් කුඩා දරුවන් ලෙඩ කරන ”අජිනමොටෝ” නොහොත් MSG අඩංගු දැයි සොයා බැලීම අනිවාර්ය කළ යුතුය. ඉන්දියානු ආහාර අධිකාරිය විසින් ද මෙම නූඞ්ල්ස් වල MSG අධික මාත‍්‍රාවක් ඇති බවට තහවුරු කර ඇත.ජනතාවගේ විරෝධය සමතය කිරීම සඳහා ඊයම් පමණක් පරීක්ෂා කිරීමෙන් ඵලක් නොවන අතර MSG අඩංගු මාත‍්‍රාවද සොයා බලා ජනතාවට සත්‍ය දැනගැනීමට සලස්වන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

පසුගිය ඉතිහාසයේ පාඩම් වලට අනුව ආහාර වල Melamine සිද්ධියේදීද, ආසනික් සිද්ධියේදීද සෞඛ්‍ය අමාත්‍ය බලධාරීන් හා නිලධාරීන් කටයුතු කළ ආකාරය ගැන ජනතාව විසින් ප‍්‍රශ්න කළ අතර මේ අවස්ථාවේදී මෙම ප‍්‍රශ්නය පිළිබඳව ජනතාවගේ පැත්තෙන් සිට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තකා මෙම පරීක්ෂණ සාධාරණව මෙහෙයවනවා  යැයි යන්න අප විශ්වාස කරමු.

මෙහිදී මෙම වෙළඳ නාමය මෙන්ම වෙළඳ පොලේ ඇති අනෙකුත් වෙළඳ නාමයන් සහිත ක්ෂණික නූඞ්ල්ස් සඳහාද මෙම පරීක්ෂණ මෙහෙයවන මෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම එය එසේ වනවාද යන්න පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලන අතර ඒ සඳහා ජනතාව වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීමට අප පසුබට නොවන බවද දන්වා සිටිමු.

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි,
සභාපති,
ශ‍්‍රී ලංකා හරිත පක්ෂය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p