පසුගිය රජය සමයේ පරිසර හානි විශාල ප්‍රමාණයක් සිදුවුණා

June 5, 2015

ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවත්විණ.

උත්සවය සඳහා පරිසර  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්  එක්ව සිටි බව  අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී සැමරුම්  උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ පරිසරය සුරැකීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය රජය සමයේ පරිසර හානි  විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලා ගන්නා බව ප්‍රකාශ කර ඇත.

ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් වටදාගෙය පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින්  සිදු විය. භාවිතයෙන් ඉවත්කරන ලද ජංගම දුරකථන අපහරණය කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු විය.

මීගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සනිටුහන් කිරීමද ජනාධිපතිවරයා අතින්  සිදු වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මගින් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව වෙත ට්‍රැක්ටර් රථයක් ප්‍රදානය කිරීමට අදාළ යතුර භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු විණ.

මැදිරිගිරිය ජාතික පාසලට පාසල් උපකරණ ලබාදීම, ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම, ගොවි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායා රූ  – ජනාධිපති මාධ්‍ය අංශය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p