පරදින සන්ධානයේ අපි නෑ..

May 18, 2015

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් කර ඇති බවට වාර්තා පළ වෙනවා.මේ තීරණය අරගෙන තියෙන්නේ කවුද?ඒ තීරණය ලිඛිතව ඔබ වෙත දැනුම් දී තිබෙනවාද?

මාත් මේක දැක්කේ පුවත්පත් වල පළ වූ වාර්තා මගින්.ලිඛිතව තවම දැනුම්දීමක් කරලා නැහැ.මේක ගැන හොයන්නත් අපි එච්චර මහන්සි වුණේ නැහැ.වත්මන් තත්ත්වය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ අපට ඉන්න පුළුවන් තත්ත්වය දිනෙන් දින අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ.

ඔබ ඔය කියන කාරණය උදාහරණය මගින් පැහැදිලි කරන්න පුළුවන්ද?

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම තරග කරලා ජාතික ආණ්ඩුවක් හදන්න.එවැනි ක‍්‍රියාමාර්ගයකට යන සන්ධානයක කොටස්කරුවන් වෙන්න ජාතික නිදහස් පෙරමුණට අවශ්‍ය නැහැ.ඒක නිසා මේ ගැන හොයන්නවත් අපට වුවමනාවක් වුණේ නැහැ.

නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීමට කොටස්කරුවන් වූ ඔබ පක්ෂයට මෙවැනි ඉරණමක් අත්වීම ජනතාව කුමන විදියකට තේරුම් ගනීවිද?

මම කලින් සදහන් කළ හේතු කාරණා මත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මීළග පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමේ ඉඩකඩ බෙහෙවින්ම අඩුයි.ඒක නිසා මීළග මහ මැතිවරණයට නව පෙරමුණකින් ඉදිරිපත් වෙන්නයි අපේ බලාපොරොත්තුව.එවැනි බලාපොරොත්තුවක් තියෙන අපට වර්තමාන එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ කුමක්ද වෙන්නේ කියන එක එතරම් වැදගත් වෙන්නේ නැහැ.ඒක මේ රටේ පොදු මහජනතාවත් ඉතා හොදින් තේරුම් අරගෙන ඉන්නේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මීළග පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනවා නම් ඔහුට මැතිවරණය මෙහෙයවීමේ නායකත්වය ලබාදිය යුතුයි.

අග‍්‍රාමාත්‍ය අපේක්ෂක විදියට මහින්ද රාජපක්ෂ මහතා නම් කළ යුතුයි යන්න කොන්දේසි කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා.මෙම කොන්දේසි මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ප‍්‍රතිචාර මොනවාද?

මහින්ද රාජපක්ෂ මහතාගෙ අවශ්‍යතාව වෙන කවරදාකටවත් වඩා රටට  ඕන කියලා අතිබහුතරයක් ජනතාව ප‍්‍රකාශ කරනවා.මහින්ද රැල්ලක් අද රට පුරා ක‍්‍රියාත්මකයි.මේ රැල්ල දැකපු සන්ධානයේ සමහර නායකයන්ට අවශ්‍ය වෙලා තියෙනවා මහින්ද සමග අපට ගැටුමක් නැහැ කියලා බොරුවට එළියට පෙන්වන්න.මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින්න පුළුවන් කියලා සමහර නායකයන් ප‍්‍රකාශ කරනවා.එතකොට හිතන්න පුළුවන් ප‍්‍රශ්නය ඉවරයි කියලා.මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරලා මන්ත‍්‍රී ධූරයක් ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන්න ඉඩදෙන්න කියන ඉල්ලීම නොවේ අප මේ කරන්නේ.මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස නම් කළ යුතුයි.ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතුයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණවල අග‍්‍රාමාත්‍ය අපේක්ෂක කලින් නම් කරනවාද?

විපක්ෂයේ ඉන්න පක්ෂයක් ආණ්ඩු බලය ගන්න සූදානම් වෙනවා නම් අගමැති අපේක්ෂක කවුරුන්ද කියලා රටට ජනතාවට ප‍්‍රකාශ කළ යුතුයි.පත්වන ආණ්ඩුවට නායකත්වය ලබා දෙන්නේ කවුරුන්ද කියලා මේ රටේ ජනතාව දැනගත යුතුයි.ආණ්ඩු පක්ෂය මැතිවරණයට යනකොට අගමැති අපේක්ෂකකමට දෙතුන් දෙනෙක් ඇහැගහගෙන ඉන්නවා.බොහෝ අවස්ථාවලදී ඉන්න අග‍්‍රාමාත්‍යවරයා අග‍්‍රාමාත්‍ය අපේක්ෂක විදියට තරග කරනවා.විපක්ෂයේ ඉන්න පක්ෂ මහ මැතිවරණවලට තරග කරන කොට අගමැති අපේක්ෂක නම් කෙරුණු අවස්ථා  ඕනෑ තරම් තියෙනවා.එහෙම නම් නොකෙරුණොත් ජනතාවගේ ප‍්‍රසාදය දිනා ගන්න ලැබෙන්නේ නැහැ.

මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩු සැලැස්මක් වත්මන් ජනාධිපතිවරයාට තිබෙන බව ඔබ කිව්වා.එවැනි සැලැස්මක් තිබියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද?

එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවකට යන සැලැස්මක් යටතේ තරග කිරීමට අපි එකග නැහැ.මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කළ යුතුයි.එය පළමු කොන්දේසිය.මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයවීම් කටයුතු සෙවිය යුත්තේ මහින්ද රාජපක්ස මහතාට අවශ්‍ය පරිදි.ඒ දෙවැනි කොන්දේසිය.ඊට අමතරව මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමග කිසිම හවුලකට යන්න බැහැ.ඒ අපේ ඊළග කොන්දේසියයි.තුන්වැනි කොන්දේසිය දෙවැනුව වෙන නිසා ඒක පොඞ්ඩක් පැත්තකට තියන්න පුළුවන්.නමුත් මුල් කොන්දේසි දෙකට පැහැදිලිවම එකගත්වය ප‍්‍රකාශ විය යුතුයි.

කොන්දේසි වශයෙන් ඉදිරිපත් වී ඇති මෙම කරුණු මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වය දන්නවාද?

විවිධ පාර්ශ්වයන් මෙම දෙපාර්ශ්වය අතර යම්කිසි එකගතාවක් ඇති කරන්න කටයුතු කළා.තවත් සමහරුන් තවම කරමින් ඉන්නේ.ඒ නිසා මේ කරුණු ගැන අදාළ පාර්ශ්වයන්  ඕනෑවටත් වඩා කරුණු දන්නවා ඇති.

ඔබ සදහන් කරන කොන්දේසි වලට යහපත් ප‍්‍රතිචාර මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගෙන් ලැබෙයි කියලා ඔබ හිතනවාද?

මේ කරුණු වලට යහපත් ප‍්‍රතිචාර ලැබෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

එම කොන්දේසිවලට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබෙයි කියා විශ්වාස කරනවා නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති කිරීමේ මෙහෙයුමේ ප‍්‍රධාන කොටස්කරුවෙක් වන ඔබගේ ඉදිරි සැලසුම් මොනවාද?

මාගේ පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ මෙහෙයුම පිටුපස දේශපාලන පක්ෂ,විවිධ සංවිධාන,රටට ආදරය කරන විවිධ බලවේග රැසක් සිටිනවා.ඒ සියලූ බලවේග එක් අරමුණක් වෙනුවෙන් පෙනී සිටිනවා.අප සියල්ල ‘A’සැලසුම හා ‘B’සැලසුම කියලා සැලසුම් දෙකක් තියෙනවා.‘A’සැලසුම තමයි අවසන් මොහොත දක්වා පෙර කී කරුණුවලට එකග වෙනවා නම් පමණක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට උත්සාහ කිරීම.

එසේ නොවෙනවා නම් අප ‘B’සැලැස්ම ක‍්‍රියාවට නංවනවා.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මූලික කොටගෙන තවත් ජන නායකයන් විශාල ප‍්‍රමාණයක් සම්බන්ධ කරගෙන නව පෙරමුණකින් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වැදීම.‘A’සැලැස්ම ක‍්‍රියාත්මක නොවුණහොත් ‘B’සැලසුම ක‍්‍රියාත්මක වෙනවා.

නව පෙරමුණකින් තරග වැදුණොත් සියලූම දිස්ත‍්‍රික්කවලට නාම යෝජනා සැකසීම,අපේක්ෂකයන් තේරීම කෙටි කාලයක් තුළදී පහසුවෙන්නේ නැහැ නේද?

ඒ නියමිත අවස්ථාවේදී ඒ ඒ කටයුතු නිසි පරිදි සිදු වෙනවා.ඒ ගැන දැන්ම වද වෙන්න අවශ්‍ය නැහැ.

යම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නව පෙරමුණකින් හෝ නව සන්ධානයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදුණොත් එමගින් එක්සත් ජාතික පක්ෂයට වාසි වීමට තිබෙන ඉඩකඩ වැඩියි නේද?

නෑ.එහෙම වෙන්නේ නැහැ.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ මහතා නව පෙරමුණකින් ආවොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 99%ක් මහින්ද රාජපක්ෂ මහතා එක්ක එකතු වෙනවා.1%ක් අනික් පැත්තේ ඉදීවි.1%ක් එහා පැත්තේ කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමක් නොවෙයි.1%ක් ඒ පැත්තේ ඉන්නවා කියන්නේ ජනාධිපතිවරණයට කලින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කීපදෙනෙක් ගියා වගේ වැඩක්.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා එම පක්ෂයෙන් පසුගියදා ඉවත් වුණා.මේ සිද්ධිය පිටුපස ඉන්නේ ඔබ කියලා සමහරු ප‍්‍රකාශ කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයේ තිබෙන ගැටළු නොදකින අය තමයි ඔය වගේ කතා පතුරුවන්නේ.ජනතා විමුක්ති පෙරමුණ තුළ එළියට හොදින් පෙනෙන ප‍්‍රවණතා දෙකක් තිබුණා.එකක් තමයි ජාතිකවාදී වාම ප‍්‍රවණතාව.අනෙක අතිවාදී වාම ප‍්‍රවණතාව.මාව එළියට දාන්නේ අතිවාදී වාම ප‍්‍රවණතාව විසින්.අපි එළියට ආවට පස්සේ ජනතා විමුක්ති පෙරමණ ඇතුළේ ජාතිකවාදී වාම ප‍්‍රවණතාව දුර්වල වුණා.අතිවාදී වාම ප‍්‍රවණතාව පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහිවීමක් සමග විසිරිලා ගියා.අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිවෙන්නේ වාම ප‍්‍රවණතාවටත් නැති එන්.ජී. ඕ වාදී න්‍යාය පත‍්‍රයට පක්ෂය ගෙන යන කොටසක්.ඔවුන් තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ ජාතික විධායක සභාව නියෝජනය කරන තත්ත්වයකට ජනතා විමුක්ති පෙරමුණ පත් කරන්නේ.ධනේශ්වර ප‍්‍රතිසංස්කරණවාදී කොටසක් තමයි ජවිපෙ තුළ අන්තිමට ඉතුරු වෙන්නේ.ඒක නියෝජනය කරන්නේ ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා.අපි එළියට වැටුණට පස්සේ ජවිපෙ තුළ ජාතිකවාදී වාම ප‍්‍රවණතාව එක්තරා දුරකට හෝ නියෝජනය කළේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතායි.මේ වෙනකොට ඔහුත් ජවිපෙන් එළියට ඇවිල්ලා.

අනුර කුමාර දිසානායක මහතාට ඔබ චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂයට,රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවත්ව දක්ෂිණාංශික වෙලා කියලා.ඔබ මහින්ද රාජපක්ෂ මහතා හිතවත් වෙලා අනුර දිසානායක මහතාට මෙම චෝදනාව කරන එක හරිද?

මං ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීම ඉතිහාසය විසින් නිර්දෝෂී කරනු ඇතැයි කියන විශ්වාසය මට තිබුණා.මං ලියපු ‘නැත්ත වෙනුවට ඇත්ත’පොතේ සියලූ විස්තර තිබුණනේ.ජවිපෙ උසාවි ගිහිල්ලා එයට වාරණයක් ගත්තා.නැත්නම් ජනතාව එදාම ජවිපෙ නියම ස්වරූපය තේරුම් ගන්නවා.එදා තිබුණු අර්බුදයේම තවත් පිපිරී යෑමක් විදියටයි සෝමවංශ අමරසිංහ මහතාගේ ඉවත්වීමත් වෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාට කියන්නේ ධනේෂ්වර නායකයෙක් වුණාට බටහිරත් එක්ක නොබියව ගැටෙන ප‍්‍රගතිශීලී නායකයෙක්.ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප‍්‍රකාශ කරනවා අපි තමයි මහින්ද රාජපක්ෂ එළෙව්වේ කියලා.ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනයට ඇවිල්ලා ප‍්‍රකාශ කරනවා ශ‍්‍රී ලංකාවේ මියන්මාරයේ කරපු වෙනසට ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා කියලා.නොර්වේ එරික් සොල්හයිම් ප‍්‍රකාශ කරනවා ඒකාධිපති මහින්ද රාජපක්ෂව සමකාමීව එළවා දමන්න හැකිවීම ජයග‍්‍රහණයක් කියලා.රයය සතුරු බලවේග වලටත්,දෙමළ ඩයස්පෝරාවෙත් ප‍්‍රහාරයට ලක්වුණු නායකයා මහින්ද රාජපක්ෂ මහතා කියලා ඉතා පැහැදිලියි.ඒ වගේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඔවුන් විසින් ගෙනයන්න හදන නායකයෙක් මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ.රට බේරා ගැනීමට නොබියව ඉදිරිපත් වුණු මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයෙක් එක්ක එකට හිටගන්න ලැබීම මට ප‍්‍රශ්නයක් නැහැ.රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ සටන් විරාම ගිවිසුම අස්සන් කරලා රට බෙදන්න ගිය නායකයා.අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන නායකයා.ඒක නිසා මහින්ද හා රනිල් අතර ලොකු වෙනසක් තියෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p