ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම ඇරඹේ

May 1, 2015

පසුගිය රජය විසින් අත් හිටවනු ලැබ තිබුණ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා දීම ක්‍රියාවට නැංවීම ඊයේ (30) ආරම්භ කෙරුණි.

එම වැඩ පිළිවෙල නැවත වරක් ආරම්භ වුනේ වසර හතරකට පසුවය.

පුද්ගලයන් 170 වක පිරිසකට ඊයේ  ද්විත්ව පුරවැසිභාවය ලැබුණ අතර තවත් හාරසියයකට අසන්න පිරිසක් එම පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් සිටින බව ආගමන විගමන දෙපාර්තුමේන්තු වාර්තාවලින් ප්‍රකාශ වේ.

ඉල්ලුම් කරුවන් දෙසීයකට ආසන්න පිරිසකට අදාළ සහතික පත් ප්‍රදානය කරනු ලැබීම බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන සාමය සහ ක්‍රිස්තියානි කටයුතු භාර ඇමති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර එම අවස්ථාවේ අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම 1987 දී හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන පාලනය විසින් ආරම්භ කරන ලද බවයි.

මහින්ද පාලන සමය

එහෙත් පසුගිය රජය සමයේ එම අයිතිය පිරිනැමීම අත්හිටුවන ලද බවත් ඇමතිවරයා සඳහන් කළේය.

‘පසුගිය ආණ්ඩුව 2011 වසරේදී එය නතර කළා. ඊට හේතුව කුමක්ද කියල මම දන්නේ නැහැ. ඒත් අපි ආණ්ඩු බලය ලබා ගත්තාට ඒ ගැන සොයා බැලුවා. එතකොට පෙනී ගියා පිටිපස්සේ දොරෙන් දෙදාහකට විතර ද්විත්ව පුරවැසිභාවය හොරෙන් දීල තියෙන බව. ඒ ගොල්ලන්ගේ නෑදෑයන්ට,මිත්‍රයන්ට ළමයින්ට සහ හිතවතුන්ට’ ජෝන් අමරතුංග ඇමතිවරයා පැවසීය.

එවැනි ක්‍රියාදාමයක ප්‍රතිවිපාකයක් වශයෙන් සාධාරණව එම අයිතිය ඉල්ලා සිටි ජනතාවට එය අහිමි වූ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

බුද්ධිගලනයට විසඳුමක්

ද්විත්ව පුරවැසිභාවය යළි හඳුන්වා දෙනු ලබන්නේ විදේශගත බුද්ධිමතුන්ට යළි සියරට පැමිණීමට අවස්ථාව උදා කිරීමට යයි ප්‍රකාශ කළ ජෝන් අමරතුංග ඇමතිවරයා, එහෙත් වැරදිකරුවන්ට එම අවස්ථාව හිමි නොවන බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් පවුල් රාශියක් සිය දරුවන් ද කැටුව ඉහත කී අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන්ගෙන් කීප දෙනෙක්ම කියා සිටියේ ලෝකයේ කවර රටක ජීවත් වුනත් යළි ශ්‍රී ලංකාවට පැමිණීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවයි.

(බිබිසි සංදේශය)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p