19 සංශෝධනයෙන් නව කොමිෂන් සභා 2ක් ස්ථාපිත කෙරේ

April 11, 2015

9 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය යටතේ නව කොමිෂන් සභා 2ක් සමඟ කොමිෂන් සභා 11ක් ස්ථාපිත කෙරෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කරුණු 16ක් සංශෝධනය වන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දිගු කාලීන ක්‍රියාවක් බැවින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එය සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

රටේ ගනුදෙනු හා මිලදී ගැනීම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් සහ විගණන කටයුතු සම්බන්ධයෙන් වන ස්වාධීන විගණන කොමිෂන් සභාවක් නව කොමිෂන් සභා ලෙස ස්ථාපිත කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතවාදී මෙන්ම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වඩාත් කෘර හා මිලේච්ඡ සංශෝධනයක් වූ බවයි.

මේ වන විට අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කර තිබෙන අතර එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි බවත් ජනාධිපතිවරයාගෙන් විධායක බලතල අඩුවීම සහ 17ට වඩා දිගු ව්‍යවස්ථා සංශෝධනයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේදී මැතිවරණ කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් සිටිය යුතු බව සහ කේවල ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට මිශ්‍ර ක්‍රමයක් ප්‍රධාන පක්ෂ පිළිගෙන තිබෙන බවත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කෙරෙන අතර එහිදී බහුතරයකගේ එකඟත්වය ප්‍රධාන කරුණු 2ක් සඳහා ලැබුණත් සුළු පක්ෂවල ගැටලුවක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නැති බව ද වැඩිදුරටත් පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p