වසර 12කට පසු නිදහස ලැබුණු බොරදිය ‍පොකුණ

February 25, 2015

චිත්‍රපටවලට වාරණය පැනවීම් ලංකා සිනමාව තුළ අලුත් දෙයක් නොවේ. වාරණය කළයුතු ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශනය වෙද්දී වාරණය නොකළ යුතු ඇතැම් චිත්‍රපට වාරණය කරමින් තම තමන්ගේ මතිමතාන්තර අනුව වැඩ කිරීමට චිත්‍රපට සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ද විවිධ අවස්ථාවලදී ක්‍රියාකළ බව නොරහසකි. වාරණය නම් දංගෙඩියට හසුවූ තවත් තරුණ සිනමාකරුවෙකුගේ නිර්මාණයකට පසුගියදා නිදහස හිමිවිය. එය සතුටට කරුණකි. ඔහු සත්‍යජිත් මාඉටිපේයි. ඔහුගේ චිත්‍රපටය ‘බොරදිය ‍පොකුණ’යි.

 ‘බොරදිය ‍පොකුණට’ නිදහස ලැබුණේ අවුරුදු 12කට පසුවයි. මේ තරම් කාලයක් චිත්‍රපටය වාරණය වීමට බලපෑ හේතුව මොකක්ද?
2004 දී චිත්‍රපටය වාරණය කරන්න ප්‍රධානම ගැටලුව වුණේ ලිංගික දර්ශන සහ බහින්බස්වීම්වලදී භාවිත කරන අසභ්‍ය වචන. ඒ හැම දෙයක්ම චිත්‍රපටයෙන් ඉවත් කරන්න කිව්වා. නමුත් අපි ඒකට කැමැති වුණේ නැහැ. ඒ නිසා 2004 ඉඳලා විවිධ ආණ්ඩුවල, විවිධ වාරණ මණ්ඩල යටතේ අපි අපේ අරගලය ගෙන ගියා. කොහොම වුණත් චිත්‍රපටය ගැන වාරණ මණ්ඩලවල සාකච්ඡා කරද්දී ලිංගික දර්ශන සහ වචනවලට අමතරව තවත් සංකීර්ණ දේවල් මේ කතාබහ අතරතුර සිදුවෙලා තිබුණා. එතනදී ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වගේ පක්ෂවල මත දරන නියෝජිතයන් වගේම සමහර දමිළ නියෝජිතයන් අපිට කතා කරලා රහසිගතව කිව්වා ඒ අය ‘බොරදිය ‍පොකුණ’ චිත්‍රපටය වාරණය කරනවාට එකඟ නැහැ වාරණ මණ්ඩලය තුළ යම් යම් ගැටලු තියෙනවා කියලා. ඒ නිසා මේක අතඅරින්න හොඳ නැහැ කියලා අපි තේරුම් ගත්තා. ඒකයි මේ සටන දිගටම ගෙන ගියේ.

එතකොට එකඟතාවකට පැමිණියේ කොහොමද?
2010 දී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස එක්වුණේ අශෝක සේරසිංහ මහත්මයා. රැඟුම් පාලක මණ්ඩලයේ හිටියේ ගාමිණි සුමනසේකර මහත්මයා. එදා අශෝක සේරසිංහ මහත්තයා කිව්වේ මේක විදේශ උළෙලවල්වලට ගෙනියන්න හදපු නිර්මාණයක් ‍නෙවෙයි. ලංකාවේ මහ ‍පොළොවෙන් හැදුණු නිර්මාණයක් නිසා වාරණය කරන්නේ නැහැ කියලා. මම ඇහුවා “සර්ට ඒක ප්‍රශ්නයක් නෙවේද කියලා” ඔහු කිව්වේ.
“ඔයා චිත්‍රපටකරුවෙක්. ඒ නිසා ඔයා චිත්‍රපට හදන්න.. ඉතුරු හරිය මම බලාගන්නම්” කියලයි.
ඒ ඇතිවුණු එකඟතාවත් එක්ක අපිට පිළිගත හැකි සංස්කරණ කිහිපයක් සිදුකළා. ඒ අනුව තමයි මේ නිදහස හිමිවුණේ.
Bora-Diya-Pokuna1‘බොරදිය ‍පොකුණ’ වැඩිහිටියන්ට පමණයි ‍ලේබලයේ චිත්‍රපටයක්ද? 
ඔව්. එහෙම තමයි අපට අවසරය ලැබුණේ. නමුත් ඒකට බලපාපු එකම කාරණය චිත්‍රපටය ඇතුළේ තියෙන ලිංගික දර්ශන සහ කුණුහරුප විතරක් ‍නෙවෙයි. ඊට වඩා සංකීර්ණ යම් යම් දේශපාලනමය කාරණා සහ සමාජයටවත්, උගතුන්ටවත් හරියට කියවා ගන්න බැරිවෙලා සැඟවිලා තිබුණු කරුණු නිසයි මේ චිත්‍රපටයට වැඩිහිටියන්ට පමණයි ‍ලේබලය ඇලෙව්වේ. පසුකාලීනව දේශපාලනික වශයෙන් සහ මතවාදී තලයේ දේවල් තේරුම් ගත හැකි උගතුන් ඒ බව පෙන්වලා දීලා තියෙනවා.

ඒ කාරණය තවදුරටත් පැහැදිලි කළොත්?
1977න් පස්සේ විවෘත ආර්ථිකයත් සමග ගම්වල කොටුවෙලා හිටිය කාන්තා ශ්‍රමය මහා පරිමාණයෙන් නගරයට සේන්දු වෙනවා. බොහෝ දෙනෙක් නගරයෙන් නතර වෙන්නේ නැහැ. විදේශගත වෙනවා. මේ වෙනසත් එක්ක ලංකාවේ ග්‍රාමීය පවුල කියන සංකල්පය ප්‍රබල වෙනසකට ලක්වෙන්න පටන් ගන්නවා. මේ නිසා ස්ත්‍රිය හා පුරුෂයා තුළ තිබුණු ලිංගික සම්බන්ධය හා පවුල තුළ ස්ත්‍රිය හා පුරුෂයාගේ තිබුණු සම්බන්ධකම් දරුණු පිපිරීමකට ලක්වෙනවා.
ඒකත් එක්ක ඇතිවෙන සංකීර්ණ සමාජ, දේශපාලන සහ සංස්කෘතිය තුළින් වර්තමානයේ සිටින ගැහැනියට සහ මිනිසාට වෙන දෙයක් මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. ඒක චිත්‍රපටයේ ප්‍රකාශ වෙන විදියට සමහරු බය වුණා. පැරණි සමාජ ආකෘතිය කැඩෙන එක ‘බොරදිය ‍පොකුණේ’ නිශ්චිතවම පෙන්නන්නේ නැති වුණාට ඒ දේ සිද්ධවෙන බව චිත්‍රපටය බලන කෙනාට තේරෙනවා. ඒ ඇතිවුණ කැලඹීම නිසා තමයි මෙයට ‘වැඩිහිටියන්ට පමණයි‘ ‍ලේබලය ඇලවුණේ. කොහොම වුණත් අපට ඒ කා‍ලේ සමාජ ක්‍රමයේ පැහැදිලි නොවුණු තැන චිත්‍රපටයේ පැහැදිලි කරලා දෙනවා.

ඒ කියන්නෙ චිත්‍රපටය තුළ ලිංගිකත්වය මාර්කට් කරලා තියෙනවා?
ඔව්. ඕනැම කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. හැබැයි අපිට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර ඊට හාත්පසින්ම වෙනස්. සිංහල බෞද්ධ ජනතාව චිත්‍රපටය නරඹලා තියෙනවා. ඒ අය ලිංගිකත්වය මත පැටලිලා නැහැ. ලිංගිකත්වය කියන්නේ කතාවට අනුබද්ධ කිසියම් කොටසක් පමණයි. සමාජය හා ජීවිතය ගැන ඊට වඩා ප්‍රබල ලෙස මෙහි විවරණය කරලා තිබෙනවා. චිත්‍රපටය නරඹපු අය ලිංගික දර්ශන කියලා සමහරු මහ ලොකුවට උලුප්පන දේවල් හෑල්ලුවට ලක්කරලා චිත්‍රපටයේ තියෙන ඇතුළාන්තය රසවින්දනය කරලා තියෙනවා. චිත්‍රපටය නරඹලා කතා කරන තරුණ පිරිස් “අයියෝ අයියේ මේකටද මෙයාලා බයවුණේ?” කියලා අහනවා. ඒ නිසා ‘බොරදිය ‍පොකුණ’ චිත්‍රපටයේ ලිංගිකත්වය මාර්කට් කරනවා කියන්න බැහැ. ඒක චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න ඕන දෙයක්.

Bora-Diya-Pokuna2වාරණය නිසා චිත්‍රපටයේ තේමාව යල්පැනලා කියලා හිතෙන්නේ නැද්ද?
අපේ ගෙදර විවාහ නොවිච්ච වයසට ගිය අවුරුදු 35ක 40ක අක්ක කෙනෙක් ඉන්නවා නම් අපි කියන්න නෑනේ අක්කේ ඔයා දැන් වයසයි කියලා. කවදා හරි ඇයට හොඳක් වෙනවටනේ අපි කැමති. මමත් ඒ වගේම මගේ චිත්‍රපටය අවුරුදු දොළහක් පරණයි කියලා මට දැනෙන්නේ නැහැ. බලන අය තවම එහෙම කියලත් නැහැ.

 නමුත් ඔබේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනකොට ඩිලානි අබේවර්ධනගේ දියණියත් සිනමාවට පිවිසිලා ඉවරයි.
පැහැදිලිවම ඔව්. දැන් ඩිලානිගේ දුව කවීෂාත් සිනමාවේ කතා නායිකාවක් වෙලා. ඩිලානි කියන්නේ ජනප්‍රිය ධාරාවේ නිළියක් වුණාට ඇය විශිෂ්ට ප්‍රතිභාවක් තිබුණු නිළියක්. අපේ රටේ අධ්‍යක්ෂවරුන්ගේ, සිනමාවේ අවාසනාවට සහ ඩිලානිගේ අවාසනාවට ඇයගේ රංගන ප්‍රතිභාව හරි විදියට ලබාගන්න අපිට බැරි වෙලා තියෙනවා. මොනතරම් කාලයක් ගියත් ඩිලානිගේ රංගනයට ප්‍රේක්ෂකයන් එදත් අද වගේම කැමතියි කියලා නම් ස්ථිරයි.

Bora-Diya-Pokuna3චිත්‍රපටය දීර්ඝ කාලයක් වාරණය වීම නිසා ඔබට අසාධාරණයක් වුණා නේද?
මට අසාධාරණයක් වුණා තමයි. ඒත් මම තනියම චිත්‍රපටය නිර්මාණය කළේ නැහැ. මාත් සමග සිය ගණනක් ආධුනික සහ ප්‍රවීණයෝ පිරිසක් හිටියා. අයිරාංගනී සේරසිංහ, ෆීලික්ස් හේමවර්ධන, ධර්මසිරි බණ්ඩාරනායක, වීණා ජයකොඩි, ලියෝනි කොතාලවල, චන්ද්‍රා කළුආරච්චි වැනි ප්‍රවීණ අය වගේම ක්ෂේත්‍රයේ ඒ කා‍ලේ දැවැන්තයෝ නොවුණ නමුත් දැන් විශිෂ්ටත්වයට පත්වෙච්ච ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, ගිරිරාජ් කෞෂල්‍ය, නදී කම්මැල්ලවීර වැනි විශාල පිරිසක් චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දුන්නා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ-ණය කළේ ප්‍රදීප් රත්නායක. මෙය ඔහුගේ පළමුවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය.
සංස්කරණය කළේ රවීන්ද්‍ර ගුරුගේ, කැමරා අධ්‍යක්ෂණය පාලිත පෙරේරා. මේ අයට වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩිලානි අබේවර්ධන සහ දුමින්ද සිල්වා හා ගයාන් ලක්රුවන්ටත් මේ නිසා එළියට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේක මට විතරක් නොවෙයි චිත්‍රපටයට දායක වෙච්ච හැමදෙනාටම සිදුවුණු විශාල අසාධාරණයක්.

වරුණි උමේෂා විතානගේ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p