නුගේගොඩට මිනිස්සු ආවේ බස් 212කින්.. චෝදනා විභාග කලාම රට වෙනස් වෙනවා..

February 20, 2015

මහින්ද රාජපක්ෂ රජයේ සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව එල්ල වූ චෝදනා විභාග කර අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තත්වය වෙනස් වන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස පත් කරන ලෙස ඉල්ලා බදාදා පැවති නුගේගොඩ රැළිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මැතිවරණ සමයේ එල්ල කළ චෝදනාවන්ට එරෙහිව පරීක්ෂණ මේ වන විට සිදු වෙමින් පවතින බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරි පරීක්ෂණවලට බාධාවක් නිසා එම පරීක්ෂණවලින් සොයා ගත් කරුණු දැනට හෙළි නොකරන බව පැවසුවේය.

“විදේශ ගිණුම් 3ක තොරතුරු ලැබී තිබෙනවා, විශාල මුදල් ප්‍රමාණයක්, අපි ඒ ගැන කරුණු හෙළිදරව් කරන්නේ නැහැ, එතකොට ඒවා හංගන්න ක්‍රියා කරයි, තව ඉදිරියට එන කොට අපිට බලා ගත හැකියි මේ රටේ දේශපාලනයේ මොනවාද වෙන්නේ කියලා” ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් නුගේගොඩ දී පැවැත්වූ රැළිය පිළිබඳව රජයට කිසිදු ප්‍රශ්නයක් නැති බව පැවසූ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂට අවශ්‍ය අගමැති අපේක්ෂක කම නම් ඔහු ඒ සඳහා කළ යුත්තේ ජන රැළි පැවැත්වීම නොව නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡා කිරීම බව අවධාරණය කළේය.

“ඕකට නුගේගොඩ රැළියක් තියෙන්න ඕනෙද? ඔච්චර වියදම් කරලා බස් 212ක මිනිස්සු ගෙන්න ඕනද? ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා අගමැති අපේක්ෂකත්වය ඉල්ලන්න පුළුවන්නේ” ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකත්වය අවශ්‍ය බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න තමන් පරාජය වුයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින් බවට හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ රැළියට එවා තිබු පණිවිඩය ගැන ද අදහස් පළ කළේය.

“හැමදාම පැරදුන කට්ටිය කිව්වේ ඔය කුමන්ත්‍රණ කතානේ” අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පසුවත් බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ අද රජයේ දිනමිණ පුවත්පත වාර්තා කලේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සමයේ සහ ඉකුත් ජනවාරි මස 9 වැනිදා අලුයම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් විවිධ ප‍්‍රදේශවල ස්ථාන ගත කිරීමෙන් මහජන ආරක්ෂක පනතට පටහැනිව කටයුතු කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාට නොතිසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල බවයි.

– BBC

Sammy

Previous story Next story

Leave a comment

t

o

p