මටත්, පුතාටත් නාම යෝජනා ලැබෙනවා.. චන්ද්‍රිකා ශ‍්‍රිලනිප දියුණුවට විශාල ශක්තියක්

February 16, 2015

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දියුණුවට විශාල ශක්‌තියක්‌ බවද දේශපාලන වාතාවරණවලදී ඉඳහිට ප්‍රශ්න ඇති වුවත් ඇය සමග පෞද්ගලික අමනාපයක්‌ නැතැයි හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු කෙටි කාලයක්‌ නිහඬව සිටි එස්‌. බී. දිසානායක මහතා අප ඇසූ ප්‍රශ්න කීපයකට මෙසේ සුහදව පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව ඔබ දරන මතය කෙබඳුද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ විධායක සභාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්‌ඩාරනායක මහත්මියත් සම්බන්ධ කර ගැනීම ගැන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුලින්ම ස්‌තූති වන්ත වෙනවා.

ප්‍රශ්නය – ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබට අපේක්‍ෂකත්වය ලැබෙයිද ?

පිළිතුර – ඇයි නැත්තේ මට අපේක්‍ෂත්වය ලැබෙනවා. මට විතරක්‌ නොවේ මගේ පුතාටත් ලැබේවි.

ප්‍රශ්නය – ඒ වුණාට ප්‍රශ්නය……… ආරවුල්…… චෝදනා තිබෙන අයට මැතිවරණ අපේක්‍ෂකත්වය ලැබෙන එකක්‌ නැහැ නේද?

පිළිතුර – මට කිසිම චෝදනාවක්‌ නැහැ. මම හිතන්නේ දූෂණ චෝදනා තිබෙන අයට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

එවැනි චෝදනා තිබෙන අයට අපේක්‍ෂකත්වය නොදීම සාධාරණයි.

ප්‍රශ්නය – ඔබ චන්ද්‍රිකා මහත්මියත් එක්‌ක ප්‍රශ්න ඇති කරගෙන තිබෙනවාද?

පිළිතුර – දේශපාලනය කරද්දී සුළු සුළු ප්‍රශ්න ඇති කර ගත්තා. ඒ තමයි දේශපාලනේ හැටි.එතුමියත් සමග මගේ කිසිම පෞද්ගලික ප්‍රශ්නයක්‌ හා අමනාපයක්‌ නැහැ. ඒ වගේම එතුමිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දියුණුවට සම්බන්ධ කර ගැනීම පක්‌ෂයට විශාල ශක්‌තියක්‌.

ඒ වගේම එතුමියගේ පියා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක හිටපු අගමැතිතුමාගෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට විශිෂ්ට සේවාවක්‌ ඉටු වුණා.

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p