මිල්කෝ සමාගම සතු කිරි පිටි මිල දී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 200ක්

September 13, 2024

රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වන විට තිබෙන කිරි පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මිල්කෝ ආයතනය මින් පෙර පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් පැවතිය ද මේ වන විට ලාබ උපයන ආයතනයක් බවට පත් කිරීමට හැකි වී ඇති බවත්, දෛනික කිරි එකතු කිරීම ලීටර් 50,000 සිට ලක්ෂ දෙක දක්වා වැඩි වී ඇති බවත් අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී තිබේ.

විශේෂයෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා කිරි මිල දී ගත් ආයතන බොහොමයක් මේ වන විට කිරි මිල දී ගැනීම නවත්වා ඇති නිසා කිරි ගොවීන් සතු කිරි තොග මිල්කෝ ආයතනය මගින් මිල දී ගැනීමට කටයුතු යොදා තිබේ.

මේ නිසා මිල්කෝ ආයතනයේ දෛනික නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් එම සමාගම සතුව පවතියි.

මේ නිසා සතොස මගින් හයිලන්ඩ් කිරි පිටි අලෙවි කිරීමේ අරමුණ ඇතිව රජය විසින් මෙම පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ඉල්ලිම පරිදි කිරි මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ලබා දීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා පවසයි.

මිල්කෝ ආයතනය මගින් නිපදවන හයිලන්ඩ් කිරි පිටි මිල ද පසුගිය සතියේ සිට ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 75ක් හා කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 190ක් වශයෙන් අඩු කිරීමට ද පියවර ගෙන තිබේ.

t

o

p