‘පුළුවන් ශ්‍රී ලංකා’ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව,රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීමට

August 17, 2024

දේශපාලන පක්ෂ සහ සන්ධාන 34කින් සමන්විත ‘පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට’ අත්සන් තබනු ලැබූයේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව, සියලු දෙනා එක් කරගනිමින් රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය’ අත්සන් තැබීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ පැවැති උත්සවයට ඊයේ (16) එක් වෙමිනි.

අනෙක් අපේක්ෂකයන් සියලු දෙනා රට පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා තමා බව පවසමින්, තමන් වෙනුවෙන් ඡන්දය දෙන ලෙස පවසද්දී, දේශපාලනඥයන්ගේ අනාගතය පිළිබඳ නොව තමන්ගේ අනාගතය පිළිබඳ සිතා මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. එදා රටේ ආර්ථිකය කඩාවැටීමට ඉඩහැරියා නම් අද ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව නොලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම වෙනුවෙන් බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය ඇති කරගනු ලැබූයේ සියලු දෙනා එක් කරගනිමින් ජනතාවගේ සහ රටේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙනුයි. ඒ වගේම මේ සම්මුතියට අත්සන් තැබූයේ බැහැ කියා පැන යන්නේ නැතිව පුළුවන් කියා නතර වූ පිරිසක්. රටේ ආර්ථික හා දේශපාලන ක්‍රමය කඩා වැටී රට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවේ ඇතැම් දේශපාලන නායකයන් පැන ගියා; නායකත්වය අමතක කළා. ඔවුන් රටේ ප්‍රශ්න දැක බිය වුණා. මම මේ රට භාර ගනිද්දී පක්ෂයක් තිබුණේ නැහැ. මේ රට ගොඩනැඟිය හැකියි කියා අගමැතිතුමා, ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් මා සමඟ එක් වුණා. එදා පුළුවන් කියා පැවසු නිසා, අද ජනාධිපතිවරණය පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

“එදා මේ රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සියලුදෙනා එය මතක තබාගත යුතුයි. එසේනම් මේ ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ ඉදිරි ගමන තහවුරු කිරීමටයි. තමන් ගැන සිතා ඡන්දය ලබා දෙන ලෙස අනෙක් අපේක්ෂකයන් සියලුදෙනා ඉල්ලනවා. රට පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා තමන් බවත් පවසනවා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතා ඡන්දය භාවිතා කරන ලෙසයි. පුළුවන් ශ්‍රී ලංකා සමඟ අප සියලුදෙනා එක්ව ඉදිරියට යමු.

“අපි භාර ගත්තේ බංකොලොත් වූ හා පෝලිම් යුගයක් තිබු රටක්. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර සහ ඖෂධ පෝලිම් රට පුරා තිබුණා. අපට මුදල් තිබුණේ නැහැ. ඇතැම් දිනවල ඩොලර් මිලියනයක්වත් තිබුණේ නැහැ. මේ බංකොලොත්භාවයෙන් මිදීමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. ඒවා කැමැත්තෙන් ගත් තීරණ නොවයි. දරුවකුට ඖෂධ දීමේදී, ශෛල්‍යකර්මයක් සිදු කිරීමේදී දෙමාපියන්ට සහ පවුලේ අයට එවන් තීරණ ගැනීමට සිදු වනවා. ඒ වගේ අප මෙම තීරණ ගනු ලැබුවේ රට වෙනුවෙන් බව කිව යුතුයි. එහිදී දුෂ්කරතා විඳදරාගත් ජනතාවට අප යළිත් ස්තුතිවන්ත වනවා. ආර්ථිකය කඩාවැටුණු රටක් අප භාර ගෙන අද වන විට උද්ධමනය පාලනය කර විදේශ සංචිත ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. අප මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ ජනතාව සමඟයි. ආණ්ඩුව ඉවත් විය යුතුයි, මෙය විසඳන්න බැහැ කියා අනිත් අය වේදිකාවල කෑගැහුවා; ජීනිවා ගියා. ඒත් අප ‘සමෘද්ධි’ ප්‍රතිලාභය වගේ තුන් ගුණයක් ‘අස්වැසුම’ මඟින් ජනතාවට දුන්නා. අප මේ වැඩ කටයුතු කළේ රට ඉතා මූල්‍ය දුෂ්කරතාවකට මුහුණ දී තිබුණු අවස්ථාවකයි. ඒ වගේම අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් සහල් කි.ග්‍රෑ. 10 බැගින් මාස 2ක් ලබා දුන්නා. ඒ වගේම ‘උරුමය’ වැඩසටහන මඟින් ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. කොළඹ මහල් නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් එම නිවාස අයිතිය දෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. එළඹෙන වසරේ තවත් වැටුප් වැඩි වීමක් දෙනවා. වෙනත් කිසිදු ආණ්ඩුවක් මෙවන් වැඩ කොටසක් ඉටු කර නැහැ. ඒ වගේම වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කළා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ අතරමඟ නතර කරනවාද, නැද්ද කියා තීරණය කළ යුතුයි.

“අපි රටවල් 18ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන 21ක් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණියා. මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම වෙනුවෙන් අප එම එකඟත්වය අනුව ඉදිරියට යා යුතුයි. මෙය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් මේ රටවල් සහ ආයතන 21 සමඟම නැවත සාකච්ඡා පැවැත්විය යුතුයි. අපට මේ වැඩකොටස ඉටු කිරීමට වසර 2ක් ගත වුණා. සංශෝධනය කිරීමට නම් තවත් වසර 2ක් ගත වෙනවා. එහෙත් අපට මේ සහන නැතිව රටක් ලෙස තව අවුරුද්දක්වත් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අප මේ ක්‍රමය බිඳවැටීමට ඉඩ දී, ලැබීමට තිබෙන මුදල් අහිමි කරගන්නවාද කියා තීරණය කළ යුතුයි. එසේම අප ඉදිරියට යන්නේ කෙසේද කියා සිතිය යුතුයි. අපි දියුණු රටක් ඇති කර තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. රටේ අනාගතය තීරණය වන්නේ මේ අනුවයි. ඇතැම් අය සිතන්නේ වසර 5-6ක ඉදිරිය දෙස පමණයි. නමුත් Gen Z පරම්පරාව අවුරුදු 20ක්–30ක් ඉදිරිය ගැන සිතනවා. තමන්ට අනාගයක් නැහැ කියා ඔවුන් රට හැර යන්න හදනවා. ඔවුන් වෙනුවෙන් අප මේ රට ගොඩනැඟිය යුතුයි.

“අප ඉදිරියට පැමිණ තිබෙන්නේ නව බලවේගයක් ලෙසයි. රටේ දේශපාලන පක්ෂ කඩාවැටෙද්දී අප එකතු වුණා. ඒ වැඩපිළිවෙළ අප තවත් අවුරුදු 5ක් ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සමඟම මේ රටේ අලුත් නායකත්වයක් ඇති වුණා. මෙවැනි ආණ්ඩුවක් මෑත කාලයේදී අප දැක නැහැ. මේ කණ්ඩායම සමඟ ඉදිරියට යා යුතුයි. අපට අවශ්‍ය රට හදන්නයි. ගම දියුණු කර මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක් කරගනිමින් ඉදිරියට යෑමට හැකි ශ්‍රී ලංකාවක් අප ඇති කළ යුතුයි. ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ සමඟ අප හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට ඉදිරියට යමු කියා මා ආරාධනා කරනවා.”

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:

“වැටුණ රටක් ගොඩනඟන විට එහි ජීවත් වන ජනතාවට එම රට ගොඩනැඟූ නායකයා කිසිදා අමතක වන්නේ නැහැ. රට මුහුණ දුන් අභාග්‍ය සම්පන්නම කාලයේදී රටේ ආර්ථිකය ගොඩනැඟීමට පුළුවන් කියා එම වගකීම භාර ගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මේ කාලයේදී වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ සහාය මැද ආණ්ඩුව ඉදිරියට ගෙන ආවා.

“ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපතිවරයාට හැකි වුණා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති නායකයන් පිළිබඳ සංසන්දනයක් කළ විට වත්මන් ජනාධිපතිවරයා සමඟ සම කළ හැකි කිසිම නායකයක් නැහැ. පාර්ලිමේන්තු ඉතිහාසය, රාජ්‍ය පාලන අත්දැකීම්, ජාත්‍යන්තර සබඳතා තිබෙන එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එම නිසා එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රණයක් බවට පත් කිරීමට අප සියලු දේශපාලන නායකයන් එකමුතුව සිටින බව පැවසිය යුතුය.”

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති නීතිඥ එම්. යූ.එම්. අලි සබ්රි, නව සන්ධානය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දේවානන්දා, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් හේමත්ප්‍රිය කවිරත්න, පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, තමිල් මක්කල් විදූදලෙයි පුලිකල් නියෝජනය කරමින් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් අතාවුල්ලා, සමඟි ජන බලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් අසංක නවරත්න, නව ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම, එක්සත් ජනතා පක්ෂය නියෝජනය කරමින් අරවින්ද කුමාර්, මුට්පෝක්කු තමිලර් කලහම් නියෝජනය කරමින් එස්. වියාලේන්ද්‍රන්, නිදහස් ජනතා සභාව පක්ෂය නියෝජනය කරමින් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මොහොමඩ් මුසම්මිල්, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් වඩිවේල් සුරේෂ්, ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් වේළු කුමාර්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරමින් එස්.එම්.එම්. මුෂාරෆ්, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් චතුර සේනාරත්න, ජාතික සමඟි පෙරමුණ නියෝජනය කරමින් අසාද් සාලි, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරමින් චම්පික ලෝව්, ඊළාම් විප්ලවවාදි ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරමින් එම්.රාජනාදන් ප්‍රභාහරන්, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නියෝජනය කරමින් ශ්‍යාමිලා පෙරේරා, දේශප්‍රේමි ජනබලවේගය නියෝජනය කරමින් සුගත් හේවාපතිරණ, ශ්‍රී ලංකා ප්‍රජාත්ත්‍රික පක්ෂය නියෝජනය කරමින් අන්වර් එම්. මුස්තාෆා, ලක්ජන පෙරමුණ නියෝජනය කරමින් චින්තක වීරකෝන්, එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරමින් සිරිමසිරි හපුආරච්චි, ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරමින් ආචාර්ය ඒ.එම්. ජයරත්න, නවජන සෙත පෙරමුණ නියෝජනය කරමින් ඩබ්.එම්. ගාමිණී විජේනායක, මව්බිම සංවර්ධන පෙරමුණ නියෝජනය කරමින් නිෂාම් මොහොමඩ්, එක්සත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය නියෝජනය කරමින් කේ.බී. ජයමිණි ජිනදාස මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි සහ බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමි ඇතුළු මහාසංඝරත්නය, අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේ සමඟ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

t

o

p