අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.
සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දියත් කළ කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් ව තිබෙන බවත්, එවැනි ව්‍යාපෘති ගණනාවක් මේ වන විට රජය ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති “ශ්‍රී ලංකා 30×30 – සොබාදහම සඳහා සංරක්ෂණය සහ ජනතාව සඳහා සෞභාග්‍යය” වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ පවතින අද්විතීය පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශීය ප්‍රජාවන්ට සහාය වීමට සහ ගෝලීය සංරක්ෂණ ප්‍රයත්නයන්ට දායක වීමට ඇති හැකියාව “ශ්‍රී ලංකා 30×30” වැඩසටහන මගින් පෙන්නුම් කෙරෙන බව සඳහන් කළ සාගල රත්නායක මහතා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ඉතා වැදගත් වන බව ද අවධාරණය කළේය.
තිරසර ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් මෙරට අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය “ශ්‍රී ලංකා 30×30 (Sri Lanka 30×30)” වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස කාර්යාලය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන අතර වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙන්ම පරිසර ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක් ද මෙහි ව්‍යාපෘති සම්බන්ධව කටයුතු කරනු ලබයි.
2025 – 2030 කාලසීමාව අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට අධික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කර තිබෙන මෙම “ශ්‍රී ලංකා 30×30” වැඩසටහන, සංරක්ෂණය සහ සංවර්ධනය සමතුලිත කරමින් ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ තිරසර සංවර්ධනය සහ හරිත ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පෙන්නුම් කෙරෙන වැදගත් පියවරකි.
තවද මෙම වැඩසටහන 2022 වසරේදී මොන්ට්‍රියල් හි පැවති COP15 ජෛව විවිධත්ව සමුළුවේදී ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් 195ක් විසින් සම්මත කරන ලද කුන්මිං-මොන්ට්‍රියල් (Kunming-Montreal) ගෝලීය ජෛව විවිධත්ව රාමුව (GBF) ට අනුකූල වේ.
එසේම “ශ්‍රී ලංකා 30×30” වැඩසටහනෙහි අංගයක් ලෙස, රජය විසින් ජාතික ප්‍රමුඛතා සංරක්ෂණ වැඩසටහන් 9ක් හඳුනාගෙන ඇති අතර, ඒ සෑම වැඩසටහනක්ම වැදගත් පාරිසරික අභියෝගවලට විසඳුම් සහ තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සකස් කර තිබේ.
එම සංරක්ෂණ වැඩසටහන් අතරට, තෙත් කලාපීය පරිසර පද්ධතිවල ආරක්ෂාව සහ සම්බන්ධතාව වැඩි දියුණු කිරීම, ආරක්ෂාව ඉහළ නැංවීම මඟින් වියළි කලාපයේ වනාන්තර විනාශය නතර කිරීම, විනාශ වූ වනාන්තර සහ කඩොලාන වාසස්ථාන නැවත ඇති කිරීම, සංරක්ෂණය සඳහා අරමුදල් සැපයීම සඳහා ආරක්ෂිත ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය තිරසාර ලෙස සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම; අලි මිනිස් සහජීවනය වැඩි දියුණු කිරීම, කැලණි ගංගා ද්‍රෝණියේ සිට ගංගා පද්ධතිවල යහපත් තත්ත්වය හා ඵලදායිතාව ඉහළ නැංවීම, ස්වභාවධර්මයේ සහ මිනිසුන්ගේ යහපත සඳහා සමුද්‍රීය පරිසර පද්ධති සංරක්ෂණය වැඩි දියුණු කිරීම, තිරසාර ධීවර කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කිරීම සහ මත්ස්‍ය තොගවල තිරසාර භාවිතය සහතික කිරීම සඳහා ප්‍රධාන වාණිජ විශේෂවල පරිහානිය නැවැත්වීම මෙන්ම තල්මසුන් නිරීක්ෂකයින් සහ නැව් මගින් තල්මසුන්ට ඇති වන බාධා අවම කිරීම මගින් සමුද්‍රීය විශාල ජීවින් ආරක්ෂා කිරීම ඇතුළත් වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය:
“තිරසාර අනාගතයක් සඳහා වන දැක්ම පිළිබඳ සාක්ෂියක් බවට හරිත ආර්ථිකයක් සඳහා අපගේ කැපවීම පත්වෙනවා. ආර්ථික සංවර්ධනය පරිසර සංරක්ෂණය සමඟ එක් කිරීම, අනාගත පරපුර වෙනුවෙන් යහපත් පෘථිවි තලයක් හිමි කර දීමට වැදගත් වෙනවා. ඒ අනුව, සොබාදහම සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව පැවසිය යුතුයි. එහි තවත් පියවරක් ලෙස 2030 වසර වන විට ලෝකයේ ගොඩබිම් සහ සාගරවලින් 30%ක් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් ගෝලීය වැඩසටහනක් වන 30×30 වැඩසටහන අප ක්‍රියාත්මක කරයි.
එසේම කඩොලාන පරිසර පද්ධති නැවත වගා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ප්‍රයත්නයක් ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වී තිබෙනවා. එවැනි තවත් වැඩසටහන් ගණනාවක් අප විසින් ක්‍රියාත්මක කර තිබේ.
මෙම බලාපොරොත්තු සහගත ඉලක්කය මගින් අප රටේ ජෛව විවිධත්වය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප දක්වන කැපවීම පෙන්නුම් කරනවා. 30×30 වැඩසටහන යටතේ ඉලක්ක සපුරා ගැනීම පමණක් නොව මෙමගින් සැබෑ වෙනසක් ඇති කිරීමටත් අරමුණු කෙරෙනවා. අපගේ අද්විතීය පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශීය ප්‍රජාවන්ට සහාය වීමට සහ ගෝලීය සංරක්ෂණ ප්‍රයත්නයන්ට දායක වීමට ඇති හැකියාව මෙමගින් පෙන්නුම් කෙරෙනවා. කෙසේ වෙතත්, අපට මෙම අරමුණු තනිවම සාක්ෂාත් කරගත නොහැකියි. අර්බුද සමයේදී මෙන් සෑම පාර්ශ්වයකම සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ඒ වෙනුවෙන් ඉතා වැදගත් වෙයි.
අප සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘති සඳහා ක්‍රියාකාරීව සහභාගී වී දායක වන ලෙස ඔබට ආරාධනා කරන්නවා. ඔබේ විශේෂඥ දැනුම, නව අදහස් සහ කැපවීම ඉතා වටිනවා. අපට එකට එක්ව, විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකියි. ඔබේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන්, ඔබ අපගේ මෙම වැඩසටහන් වඩාත් ශක්තිමත් සහ ඵලදායී බවට පත් වෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ පරිසරය, දේශගුණික විපර්යාස සහ හරිත මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි මහතා:
“සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සහ මුදල් අමාත්‍යාංශය වැනි විවිධ මූල්‍ය ආයතන දැඩි උනන්දුවකින් හරිත බැඳුම්කර කෙරෙහි අවධානය යොමු කරන බව අප නිරීක්ෂණය කර තිබෙනවා. එම ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, හරිත මූල්‍යකරණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සුදුසු ව්‍යාපෘති කිහිපයක් අප විසින් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන සඳහා මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) සහාය ඇතිව ක්‍රියාත්මක සමුද්‍රීය ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති මෙන්ම ගෝලීය පාරිසරික පහසුකම සහ හරිත දේශගුණික අරමුදල මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවලට ද සහාය දක්වනවා. මෙම වැඩසටහන මගින් හරිත රැකියා උත්පාදනය කරනු ඇතියි. ඒ සඳහා අවශ්‍ය වේදිකාව ස්ථාපිත කර ඇති නිසා ආයතනික සහ ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ විශාල සහයක් ද ලබාගැනීමට හැකිවනවා. උදාහරණයක් ලෙස, එක් ව්‍යාපෘතියක් මගින් සංචාරක ව්‍යාපාරයේ ආදායම සහ වියදම් සේවා වැඩිදියුණු කිරීම මෙන්ම ගුණාත්මකභාවය ඉහළ නැංවීම ද අරමුණු කර තිබෙනවා. ගෝලීය අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් රාජ්‍ය සහ ආයතනික අංශ දෙකෙහිම සහාය අවශ්‍ය වන, වඩා හොඳ අරමුදල් කළමනාකරණ උපාය මාර්ග කෙරෙහි ද එය අවධානය යොමු කරනවා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රවේශය තුළ විශාල අපේක්ෂා පවතිනවා. නමුත් ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ පැහැදිලි කාලසටහනක් තුළ, කෘෂිකර්මය, බලශක්තිය, අපද්‍රව්‍ය සහ ජල කළමනාකරණය ඇතුළු අපගේ හරිත ආර්ථික ප්‍රයත්නයන් සමඟ ජෛව විවිධත්ව සංරක්ෂණය ඒකාබද්ධ කිරීම පිළිබඳ ඉලක්කය සපුරා ගැනීමට එමගින් මාර්ගය සකස් කරගත හැකියි. මෙම ක්‍රියාවලියට සහාය වීම සහ සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා, අප ස්වභාවික ප්‍රාග්ධන ගිණුම්කරණය අනුගමනය කිරීම සහ ව්‍යාපෘති කළමණාකරණ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තොරතුරු පද්ධති සැලසුම් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.
වැදගත් පරිසර පද්ධති ආරක්ෂා කිරීම, පරිසර පද්ධති සේවාවන්හි ගුණාත්මකභාවය සහතික කිරීම සහ පරිසරය, සමාජීය සහ පාලනය ප්‍රවර්ධනය කිරීම තුළින් අපට ශ්‍රී ලංකාවේ අපනයනවලට සහාය වෙමින්, ශ්‍රී ලංකාව හරිත ගමනාන්තයක් ලෙස ද ස්ථාපිත කළ හැකියි. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමයේ හරිත අභියෝගයට (EU Green Challenge) අනුව යුරෝපය වෙත සිදුකරන අපනයන, අපවිත්‍ර නොවන ගංගා ද්‍රෝණිවලින් සිදු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවට ඒ සඳහා ප්‍රධාන අපනයන කලාප තුනක් පිහිටා ඇති කැලණි ගංඟා ද්‍රෝණිය පවිත්‍ර කිරීමට අවශ්‍ය වී පවතිනවා.”
මෙම වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට රාජ්‍ය ආයතන, දේශීය මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන 95 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විදේශ දූත මණ්ඩල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික නියෝජිතායතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.