ජනාධිපති අරමුදලේ අගෝස්තු මස ශිෂ්‍යත්ව වාරික මුදල ගිණුම්වලට

August 1, 2024

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා මෙම මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කර තිබේ.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම්දෙයි.

ඒ අනුව 2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද, 2023/2024 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 06 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කර තිබේ.

එමෙන්ම 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන සිසුන් 100,000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 05 වැනි වාරිකය සහ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන, පිරිවෙන් (සාමාන්‍ය පෙළ) / අපොස සාමාන්‍ය පෙළ විභාග සමත්ව ප්‍රාචීන විභාග සඳහා හෝ අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින ගිහි පැවිදි සිසුන් 500ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකය ද අද දිනයේ දී ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරුණි.

තවද පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ,01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ගිහි පැවිදි සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකයට අදාළ මුදල්ද ශිෂ්‍යත්වලාභීන්ගේ ගිණුම්වලට අද (01) දින බැර කර ඇති බව සඳහන් වෙයි.

ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන සඳහා පාසල් මට්ටමෙන් සිසුන් තෝරා ගෙන ඇති බැවින් අයදුම් පත්‍ර ප්‍රමාද වීම හෝ බැංකු ගිණුම් සම්බන්ධව පවතින ගැටලු මත මෙතෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලැබී නොමැති එහෙත් සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා ගෙවීම් කිරීම පිළිබඳ කටයුතු මෙම මස තුළ සිදුකරනු ලබන අතර ඒ පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවේ පළ කිරීමට නියමිතයි.

t

o

p