මගේ අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීමයි – ජනපති

July 27, 2024

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කරනලදි.

කිසිවිටෙකත් තමා අභියෝග හමුවේ පැන නොගිය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කතා කරමින් නොසිට වගකීම ඉටු කිරීම තම දේශපාලන පුරුද්ද බවත්, රට ඉදිරියට ගෙන යාමට ජනතාවට දුන් පොරොන්දුව ද ඒ අයුරින්ම ඉටු කරන බවත් අවධාරණය කරයි.

රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද ඇතුළුව අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් මෙන්ම හිටපු මැති ඇමතිවරු සහ ගාල්ල දිස්ත්‍රික් ජනතාව 15,000කට අධික පිරිසක් එක්ව සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ඔවුන් කියා සිටියි.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් යුතු වත්මන් වැඩපිළිවෙල අනුව ඉදිරියට ගමන් කළ යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යමෙකු පවසන්නේ නම් ඔවුන් පවසන්නේ රට අවදානමේ හෙළන අසත්‍යයක් බවද ජනාධිපතිවරයා අවධාණය කරයි.

තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස බවද පැවසූ ජනාධිපතිවරයා තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීම බවත් සියලු දේශපාලන භේද පසෙකලා තරුණ පරපුරට යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්වන ලෙස සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවත් පවසයි.

අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, වෛද්‍ය රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ සමගි ජන බලවේගය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාන් රහුමාන් යන මහත්වරුන් ද ජන හමුව ඇමතන ලදි.

t

o

p