ආර්. සම්බන්ධන් මහතා සහ මා සෑමවිටම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටියා – ජනපති

July 7, 2024

අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බවත්, සම්බන්ධන් මහතා සහ තමා නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආර්. සම්බන්ධන් මහතා සමඟ එකඟත්වයෙන් යුතුව ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමින්.

හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරුණි.

ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ ජනාධිපතිවරයා ඔහුගේ අභාවය තමාට දිගුකාලීන මිතුරෙකුගේ අහිමි වීමක් බවද සඳහන් කරයි.

ආර්. සම්බන්ධන් මහතා නිරතුරුවම කථා කළ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙන බවත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ තිබෙන ප්‍රශ්න නීතියෙන්ම විසඳීමට එම කොමිසමට බලයට ලබා දීමට බලාපොරොත්තු වන බවත් පවසන ලදි.

විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතාගේ භූමිකාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා විපක්ෂ නායකයෙකු යනු විකල්ප අගමැතිවරයා බව සඳහන් කළ අතර, ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් නියම විපක්ෂ නායකයෙකුගේ ගුණාංග ප්‍රකට කළ බව ද සඳහන් කරයි.

මේ අතර මැතිවරණ පිළිබඳව ද අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ කවුරු අධිකරණය හමුවට ගියද මෙම වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය සමඟ මට දිගුකාලීන මිතුරෙක් අහිමි වී තිබෙනවා. මම එතුමා හඳුනාගත්තේ මීට වසර 50කට පෙර එතුමා නීතිඥවරයෙකු ලෙසත්, මම නවක නීතිඥවරයෙකු ලෙසත් කටයුතු කළ අවස්ථාවේ. 1977 සම්බන්ධන් මහතාත් මමත් නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා.

එම පාර්ලිමේන්තු මැතිවරණයේ දී මම සහාය ලබා දුන්නේ ත්‍රිකුණාමලයේ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික නවරත්නම් මහත්මයාටයි. නමුත් එම තරගයෙන් සම්බන්ධන් මැතිතුමා ජයග්‍රහණය කළා.

විශේෂයෙන්ම වෙනම රාජ්‍යයක් ඇති කළ යුතුයි කියන යෝජනාව අනුව එදා පාර්ලිමේන්තුව දෙකට බෙදිලා තිබුණා.

සම්බන්ධන් මැතිතුමාට ආණ්ඩුවේ මන්ත්‍රීවරු සමඟ විශේෂ සම්බන්ධකමක් තිබුණා. එතුමා සෑම අවස්ථාවකම ප්‍රකාශ කළේ මේ රට බෙදන්න බැහැ කියලා, එතුමා කිව්වා ෆෙඩරල් ක්‍රමය දෙන්න නැත්නම් අප ඇති කළ දිස්ත්‍රික් සභා ක්‍රමයට වඩා බලතල ලබා දෙන්න කියලා.

අප අතර ප්‍රශ්නයක් තිබුණා. මම ත්‍රිකුණාමලයේ ඉඩමක් තරුණ සේවා සභාවට පවරාගත් අවස්ථාවේ අප අතර පාර්ලිමේන්තුවේ විවාද පවා ඇති වුණා. එතුමා මෙය පාලනය කිරීමට ගත් උත්සාහයත්, අප ගත් උත්සාහයක් සාර්ථක වුණේ නැහැ.

1983 වසරේදී එතුමා ලංකාවෙන් පිටත් වෙලා ගියා. එතුමා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු අප නැවත සම්බන්ධකම් ඇති කරගත්තා. 2009 වසරේ ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට අදාළව මට එතුමා සමඟ නැවත වැඩ කිරීමට අවස්ථාව ලැබුණා.

එතුමා කිසිවිටක වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ නැහැ. හැම වෙලාවෙම කිව්වේ සියලුදෙනා එකට සිටිය යුතුයි කියලා. දෙමළ ජනතාව දුක් විඳිනවා, ඔවුන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳිය යුතු බව එතුමා ප්‍රකාශ කළා.

අපි මැතිවරණවලදී එකට කටයුතු කර තිබෙනවා වගේම පොදු අපේක්ෂකයන්ට සහාය ලබා දී තිබෙනවා. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අප සියලුදෙනා එකතුවෙලා වැඩ කළා. ඊට පෙර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් වැඩ කටයුතු කළා.

මම එතුමා සමඟ නිතරම අතීත සිදුවීම් පිළිබඳ, ඒ වගේම දේශපාලනය ගැන කථා කරනවා. එතුමා 1948 මේ රට නිදහස ලබා ගන්නා අවස්ථාව දුටු එකම මන්ත්‍රීවරයා. ඒ වගේම අප දේශපාලනය ගැන කථා කළා.

ඉන් අනතුරුව එතුමා විපක්ෂනායකයා ලෙස කටයුතු කළා. එතුමා එතනදී තම චරිතය මැනවින් පෙන්නුම් කළා.

එතුමා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කරලා ඒ පිළිබඳ කටයුතු කළා පමණක් නොවෙයි එතුමා විපක්ෂනායකවරයා ලෙස සියලු ලාංකිකයන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. එතුමා එම අවස්ථාවේ කටයුතු කළේ නියම විපක්ෂ නායකයෙක් ලෙසයි. නියම විපක්ෂ නායකයෙක් කියන්නේ විකල්ප අගමැතිවරයෙක්.

2018 වසරේ ආණ්ඩුව තුළ ඇති වූ අර්බුදයේ දී මට අගමැතිකම අහිමි වූ අවස්ථාවේ එතුමා විපක්ෂ නායකයා ලෙස නියම නායකත්වය පෙන්නුවා.

වෙනත් හේතු නිසා අපේ සාකච්ඡා සාර්ථක වුණේ නැහැ විශේෂයෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අපට දේශපාලන විසඳුම් ඉදිරිපත් කිරීමට පසුබිමක් තිබුණේ නැහැ.

මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ප්‍රශ්න පිළිබඳ එතුමා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම ද්‍රවිඩ පක්ෂ සහ මන්ත්‍රීවරු සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා. එහිදී ඉතා වැදගත් අදහස් කිහිපයක් එකතු වුණා.

අප දෙදෙනාගේම එකඟත්වය වුණේ නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමයි. මෙම සාකච්ඡා පැවැත්වෙන අතරතුර රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් මට මූලිකත්වය ලබා දීමට සිදු වුණා. ඒ නිසා අපේ සාකච්ඡා අවසන් මාස කිහිපය තුළ කල් තැබීමට සිදු වුණා.

මෙම පාර්ලිමේන්තු සතියේදී මෙම සාකච්ඡා නැවත ආරම්භ කළ හැකිද කියා මම සොයා බැලුවා. නමුත් එම අවස්ථාව ලැබෙන්නට පෙර සම්බන්ධන් මැතිතුමා අප අතරින් වෙන් වුණා. නමුත් අප මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යමින් ඒවා අවසන් කළයුතුයි.

ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා. තමන්ගේ ගම්මාන අත්පත් කර ගැනීම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. නීතියෙන්ම එම ප්‍රශ්න විසඳීමට මෙම කොමිසමට බලයට ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. නමුත් දැන් අප සාකච්ඡා කර තීරණය කර තිබෙන්නේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමටයි. කවුරු අධිකරණයට ගියත් මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වනවා. ඊළගට පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන අතර ඉන් පසුව පළාත් සභා මැතිවරණය පැවත්වෙනවා.

අලුත් ක්‍රමයේ පවතින ගැටළුකාරී තත්ත්වය නිසා පැරණි ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලිම් ඉදිරිපත් වුණා. ඒ සඳහාත් අප අතර එකඟත්වයක් පැවතියා. කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රීකම තබාගෙන මේ සඳහා තරග කිරීමට ඉඩ ලබාදීමට තීරණය වුණා.

13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් පොලිස් බලතල නොමැතිව අනෙක් බලතල ගණනාවක් මධ්‍යම ආණ්ඩුවෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ දැන් සිටින ප්‍රධාන ඇමතිවරු සමඟ සාකච්ඡා කරනවා. වෙනත් බලතල ගැන ඉන් පසුව සාකච්ඡා කළ හැකියි.

අලුත් යෝජනාවක් ලෙස ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන්නේ බලය බෙදා හැරීමේ දී 13 වන සංශෝධන රාමුව තුළ උපරිම බලය විමධ්‍යගත කිරීමටයි. ඒ වගේම නවාස් කොමිසමේ වාර්තාව ගැන සාකච්ඡා කිරීමට තිබෙනවා.

විදේශ ඇමතිතුමා මට දැනුම් දී තිබෙනවා සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම් සභා පනත් කෙටුම්පත (TRC) ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා කියලා.ඊට අමතරව ජන සභා ක්‍රමය පිළිබඳවත් අප දැන් සාකච්ඡා කර එකඟත්වයකට පැමිණ තිබෙනවා. මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යමින් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

සම්බන්ධන් මැතිතුමා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ නායකයෙක්. සම්බන්ධන් මැතිතුමා ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්. අප දෙදෙනාම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ පුද්ගලයන්.

ඒ සඳහා අප දෙදෙනා එකඟත්වයෙන් යුතුව සාකච්ඡා ඉදිරියට ගෙන ආ අතර එම කටයුතු අවසන් කිරීමට සියලුදෙනාගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජා, තමිල්නාඩු ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ නායක කේ. අන්නමලෙයි යන මහත්වරු ඇතුළු ඉන්දිය නායකයන් කිහිප දෙනෙකු ද අවමංගල්‍ය උත්සවයට එක්ව සිටී අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මාවෙයි සේනාධිරාජා, එස්. රාසමාණික්‍යම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස, යන මහත්වරු සහ දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p