ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට පැමිණීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන අපනයන ආනයන බැංකුව සමඟත් ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකි වීම පිළිබඳ විදෙස් තානාපතිවරු රැසක් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබේ.
චීන අපනයන ආනයන බැංකුව සමඟ සහනදායී ණය ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා එය ශ්‍රී ලංකාවට වැදගත් සහනදායී ණය ගිවිසුමක් බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට විශාල දායකත්වයක් බවත් සඳහන් කරමින් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇති අතර, ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කිරීමට ද අමතක නොකළේය.
මේ අතර පැරිස් සමාජයට සමගාමීව ශ්‍රී ලංකාව සහ ණය හිමි රටවල් අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් ගිවිසුමකට එළැඹීම අමෙරිකාව සාදරයෙන් පිළි ගන්නා බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රකෘතියේ ධනාත්මක ඉදිරි පියවරක් බවත් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අමෙරිකානු තානාපති ජූලි චැංග් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම එය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වාසයක් ගොඩනඟා ගැනීමට ද ඉවහල් වන බව සඳහන් කරන අමෙරිකානු තානාපතිවරිය දිගුකාලීන සෞභාග්‍ය සහ වර්ධනය කරන විනිවිදභාවයකින් යුතු තිරසර වෙනස්කම් අනුගමනය කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට දිරිගැන්වීමක් කරනු ලබන බවත් ඇය සඳහන් කර ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරමින් ජපාන තානාපති කට්සුකි කොටාරෝ ද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය සහ සභාපතිත්වය දරන ණය හිමියන්ගේ නිල කමිටුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට ලැබුණු කදිම අවස්ථාවක් බවත්ය.