හාල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවෙයිද.. මේක දැක්මක් නැති අයවැයක්..

February 2, 2015

රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අයවැය දැක්මක් නැති අයවැයක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක එම පක්‍ෂ මූලස්ථානයේදී මෙසේද අදහස් පල කලේය.

‘පොරොන්දු වුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක බදු අඩු කරන්න. ඒත් අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 13ක බදු අඩු කළා’ කියලයි රවී කරුණානායක මහතා සිය අය-වැය කතාවේදි පැවසුවේ. ‘සිනි, කිරිපිටි, සස්ටජන්, උදු, පාන්පිටි, මුං ඇට, උම්බලකඩ, හාල්මැස්සන්, ටින්මාළු, කහ, මිරිස්, කොත්තමල්ලි යන ඒවායේ තමයි මිල අඩු කොට ඇත්තේ. අපේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය බත්. අද සහල් කිලෝවක මිල රුපියල් 100කට වැඩියි. හාල් මිල ඉහළ යාමට ඉඩ දී පාන් පිටි මිල අඩු කොට තිබෙනවා. ඒ කියන්නේ ‘පාන් පිටි ත‍්‍රස්තවාදය’ රටට කැඳවා ගෙන ඇවිත් තිබෙනවා. පාන් පිටි කිලෝව රුපියල් 12.50කින් අඩු කළාම සහන ලැබෙන්නේ කාටද? ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවියාට. අපි ජාතියක් ලෙස පාන්පිටි පාවිච්චිය අත්හරිමින් තිබෙනවා. 2005 සිට පාන් පිටි ත‍්‍රස්තවාදයට එරෙහිව විද්වතුන්, වෛද්‍යවරුන්, කෘෂිකර්ම අමාත්‍යවරුන් පවා අදහස් දැක්වූවා. ඒ නිසා පාන්පිටි ආනයනයද අඩු වී තිබුණා. දැන් යළිත් පාන් පිටි ආනයනය වැඩි වේවි. එහි වාසිය ඇමෙරිකාවටයි. ඊළග කන්නයේ අස්වනු වී ගොවියාට විකුණා ගන්න බැරි වේවි. එවිට ඒවා සත්ත්ව ආහාර නිෂ්පාදනයට යෙදවේවි. අපේ ගොවියා වළපල්ලට යවලා ඇමෙරිකානු එක්සත් ජනපද ගොවියා පොහොසත් කිරීමයි මේ මුදල් අමාත්‍යවරයා සිදු කොට ඇත්තේ.

මුං ඇට, උඳු, මිරිස්, කහ වැනි ද්‍රව්‍යවල බදු ඉවත් කොට ඒවායේ මිල අඩු කොට තිබෙනවා. ඒවාට බදු පනවා තිබුණේ ඇයි? මේ සියලූ දේවල් ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙනවා. නමුත් ඒවා ඉන්දියාවෙන් අඩු මිලට ආනයනය කරන්න පුළුවන්. දේශීය ගොවියා රැක ගන්නයි බදු පනවා තිබුණේ. දැන් මේ සියල්ල ඉන්දියානු වෙළඳපොළෙන් ආනයනය කරලා දේශීය නිෂ්පාදකයා අමාරුවේ දාන්නයි මේ හදන්නේ. එජාප ආණ්ඩුවක් තිබුණු හැම අවස්ථාවකදීම ගොවියාගේ බඩට ගැහුවා. මේ පාරත් කරලා තියෙන්නේ ඒකම තමයි.

උම්බලකඩ නිෂ්පාදනයත් දේශීය වශයෙන් සාර්ථකව සිදු කෙරුණා. ධීවර ජනතාව උම්බලකඩ නිෂ්පාදනය වෙනුවෙන් දිරි ගන්වන්න ඕනෙ නිසයි, උම්බලකඩ ආනයනයට බද්දක් පනවා තිබුණේ. අද ඒකත් බිඳ වට්ටවා තිබෙනවා. ටින්මාළු මිල අඩු කිරීම නොවෙයි සිදු විය යුත්තේ රටේ ජනතාවට අලූත් මාළු අඩු මිලට ලබා දීමයි. සැබෑ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මොනවාද? හාල්, පොල්, එළවළු, පරිප්පු බිත්තර, මස්, මාළු ආදිය නොවෙයිද? නමුත් මේ කිසිවක මිල අඩුකර තිබෙනවාද? නැහැ. ඒ නිසා මේ ඉදිරිපත් කර ඇත්තේ ‘කොත්තමල්ලි අය – වැයක්’. ලංකාවේ ජනතාවට සහන දෙනවා කීවාට, මේ සිදු කර ඇත්තේ ඉන්දියාවට ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ විවර කර දීම. මෙතැන වංචාවක් තිබෙනවා.

බස් ගාස්තු අඩු කිරීම බලන්න. ඞීසල් ලීටරයක මිල රුපියල් 17කින් අඩු වුණා. ඒත් අවම බස් ගාස්තුව රුපියලකින් පමණයි අඩු වුණේ. මේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ලබා දීලා තියෙන්නේ පසුගිය ඡන්දයේදී තමන්ට වැඩ කරපු බස් හිමියන්ට. බස් මගියාට ඉන්ධන මිල අඩුවීමේ වාසිය හරි ආකාරයට ලබා දීලා නැහැ. හරි නම් අවම බස් ගාස්තුව රුපියල් තුනකින් අඩු විය යුතුයි.

වාහන බදු අඩු කිරීම බලන්න. 1000සීසී ධාරිතාවට අඩු වාහනවල මිල 15%කින් අඩු කොට තිබෙනවා. ඒ අනුව ඉන්දියානු කුඩා වාහනවලටයි ඉඩකඩ විවර වන්නේ. අනෙකුත් වාහනවලට බදු ගසා තිබෙනවා. ඉන්දියාවේ කොන්ත‍්‍රාත්තුව ඉටු කරන ගමන් කොටස් එකලස් කොට වාහන නිපදවන දේශීය ව්‍යාපාරිකයාට අලූත් බද්දක් ගසා තිබෙනවා. මේ අය – වැය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැට්ටීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා. බ‍්‍රහස්පතින්දා අය – වැය ඉදිරිපත් කරනු ලැබුවා. සිකුරාදා වන විට කොටස් වෙළඳපොළ කඩා වැටුණා. රවී කරුණානායක කියන ආර්ථික විශේෂඥයා අය – වැය ඉදිරිපත් කළාට පසුව කොටස් වෙළඳපොළ බිඳ වැටෙනවා නම් මේ රටේ ආර්ථිකයට දෙයියන්ගේම පිහිටයි.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා තමන්ගේ අය – වැයෙන් යෝජනා කළා පෙර පාසල් ගුරුවරියන්ට රුපියල් 2500ක මාසික දීමනාවක් ලබා දෙන්න. එය රුපියල් 250 දක්වා අඩු කිරීමට රවී කරුණානායක මහතා කටයුතු කොට තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමත් ගැටළු සහගතයි. පසුගිය නොවැම්බරයේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඉදිරිපත් කළ අය – වැයෙන් රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් 11,730 සිට රුපියල් 15,000 දක්වා වැඩි කළා. 2015 ජනවාරි සිට රුපියල් 7800ක ජීවන වියදම් දීමනාව රුපියල් 2,200කින්, ඒ කියන්නේ රුපියල් 10,000 දක්වා වැඩි කළා. වැටුප් චක‍්‍ර ලේඛ සකස් වන තෙක් මහින්ද රාජපක්‍ෂ මහතා රුපියල් 3,000ක අතුරු දීමනාවක් ලබා දී තිබුණා. ඒ අනුව 2015 ජනවාරියේ රාජ්‍ය සේවකයාට රුපියල් 5200ක වැටුප් වැඩිවීමක් හිමියි. ඒ නිසා 2015 පෙබරවාරියේ වැටුපට මහින්ද රාජපක්‍ෂ මහත්තයා දීපු රුපියල් 5,200 සහ රවී කරුණානායක මහතා දීපු රුපියල් 5000 එකතු කොට රුපියල් 10,200ක වැටුප් වැඩිවීමක් දෙනවාද? මේවා කොතැනකවත් පැහැදිලි කර නැහැ.

තවත් ආකාරයකට මේ පිළිබඳව විමසා බැලිය හැකියි. 2015 ජනවාරි වන විට රාජ්‍ය සේවකයාගේ අවම වැටුප් රුපියල් 15,000යි. ජීවන වියදම් දීමනාව රුපියල් 10,000යි. ඒ අනුව රාජ්‍ය සේවකයාගේ අවම මාසික ආදායම 2015 ජනවාරි වන විට රුපියල් 25,000යි. සැබෑවට රුපියල් 5000කින් 2015 පෙබරවාරියේ වැටුප් වැඩි වෙනවා නම් ඔහුගේ මාසික ආදායම රුපියල් 30,000 විය යුතුයි නේද? 2015 ජූනි වන විට මාසික ආදායම රුපියල් 35,000 විය යුතුයි නේද? 2015 පෙබරවාරිය වන විට මූලික වැටුප 20,000ක් වී 2015 ජූනි වන විට මූලික වැටුප රුපියල් 25,000ක් විය යුතුයි නේද? එම සේවක වැටුපට රුපියල් 10,000ක් එකතු වුවහොත් එහෙම විය යුතුයි නේද? අනෙකුත් රාජ්‍ය සේවකයන්ට 1:4.25 අනුපාතයට වැටුප් වැඩි විය යුතුයි නේද? මෙවැනි වැටුප් බිලක් කිසිදු රජයකට දැරිය හැකිද? රාජ්‍ය සේවකයාගේ ඇස් නිලංකාර කරවන ජවිපෙ විජිත හේරත්ලා මේවාට උත්තර දිය යුතුයි.

මෙතැන තියෙනවා පැහැදිලි වංචාවක්. මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් දැනටත් ලැබෙන රුපියල් 3000ක අතුරු දීමනාවට තවත් රුපියල් 5000ක් එකතු කරලා 2015 පෙබරවාරියේ ලබා දීලා. ‘අපි රුපියල් 8000කින් දැනට වැටුප් වැඩි කර තිබෙනවා’ කියමින් 2015 ජූනි මාසයේ තවත් රුපියල් 2000කින් පමණක් වැටුප් වැඩි කරන්නයි, මේ සූදානම් වෙන්නේ. කෙසේ වුවත් ‘යහපාලනයට’ කඬේ යන අය මේ ගැන පැහැදිලි කිරීමක් රාජ්‍ය සේවකයාට සිදු කළ යුතුයි. මේ අය කරන්නේ රාජ්‍ය සේවකයා ගොනාට ඇන්දවීමක්.

මේ අය – වැයේ තිබෙන තවත් කාරණයක් තමයි රාජ්‍ය ආයතනවල අබලි වාහන වෙන්දේසි කිරීම. එය ඉතා හොඳයි. නමුත් ඒ බව රාජ්‍ය ආයතනවල මුදල් රෙගුලාසිවල තිබෙනවා. ඒක අමුතුවෙන් අය – වැයට දාන්න ඕනෙ නැහැ. මේ මොකද කරන්න හදන්නේ? අපට මතකයි 2001 – 2004 එජාප ආණ්ඩුව කළ දේ. ලංගම බස් 3,000ක් අබලි වාහන කියා කුණු කොල්ලයට එදා වෙන්දේසි කළා. බැටරිය ගලවපු නිසා ස්ටාට් නොවන බස් එක කුණු කොල්ලයට ලබා දෙනවා. ඩිපෝවෙන් එළියට ඇවිත් බැටරිය සවි කරලා ස්ටාට් කර ගෙන යනවා. ඕවා ‘පරණ එජාප මෙතඞ්’. දැන් කරන්න හදන්නෙත් ඒක තමයි. ලංගම බස් විකිණීමේ උවමනාවෙන් ගෙන ආපු මේ අබලි වාහන වෙන්දේසිය ගැන රටම අවධානයෙන් සිටිය යුතුයි. එජාපය විකුණා දමපු ලංගම තමයි අපි යළි ගොඩනැඟුවේ. ඒ බව අමතක කරන්න එපා!

මහින්ද රාජපක්‍ෂ මහතා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් වයස අවුරුදු 55ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට සීමාවකින් තොරව 13%ක පොලියක් ලබා දීමට පොරොන්දු වී තිබුණා. නමුත් ඒක අහෝසි කරලා, වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවල පළමු රුපියල් ලක්‍ෂ 10ට පමණක් 15%ක පොලියක් ලබා දීමට රවී කරුණානායක මහතා තීරණය කර තිබෙනවා. ඉතිරි මුදල්වලට 6%ක පමණ පොලියක් ලැබෙන්නේ. මෙය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ අසාධාරණයක්.

මේක කිසිදු ආර්ථික දැක්මක් පිළිබඳව සඳහන් නොවූ අය – වැයක්. 1977 දී බලයට පත් වූ එජාප ආණ්ඩුව වෙනුවෙන් එවකට මුදල් අමාත්‍ය රොනී ද මැල් මහත්තයාත් ඉදිරිපත් කළේ මෙවැනිම ආර්ථික දැක්මක් නොමැති අය – වැයක්. එහෙම දැක්මක් නොමැතිව රට ගෙන ගිය ඔවුන් 1994 වන විට මේ රට මිනී කනත්තක් බවට පත් කළ බව අප අමතක කළ යුතු නැහැ’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p