උරුමයෙන් යාපනයටත් සින්නක්කර ඔප්පු

May 25, 2024

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (24) යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.

“උරුමය” වැඩසටහන යටතේ උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ නැවතුන උතුරු පළාත් නිවාස ව්‍යාපෘතිය ලබන වසරේ සිට යළි ආරම්භ කරන බවයි. මෙම සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන එහි එක් පියවරක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙරට ක්‍රියාත්මක විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන බවද සඳහන් කළේය.

t

o

p