චම්පික කරන්නේ බරපතල වැරැද්දක්‌

January 31, 2015

ජනාධිපතිවරණය පැවති ජනවාරි 08 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු අංශයේ සේවකයන්ට නීති විරෝධීව වැටුප් වැඩි කිරීම බරපතල වැරැද්දක්‌ සහ වංචාවක්‌ බවත් වත්මන් විදුලිබල ඇමැති චම්පික රණවක මහතා එය නීතිගත කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම බරපතල වැරැද්දක්‌ බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

දූෂණ විරෝධී සංවිධානයක්‌ හදාගෙන ඒ සංවිධානයට තොරතුරු දෙන්න කියන ඇමැති චම්පික මහතා තමන්ගේ කිල්ලෝටයේ තියෙන හුනු දකින්නේ නැතුවද මෙහෙම කරන්නේ? කැබිනට්‌ පත්‍රිකාව දාන්න කලින් දන්නැද්ද මේක නීති විරෝධී කියලා. කැබිනට්‌ පත්‍රිකාව දාන්න කලින් ඒක නීති විරෝධී කියල දැනගෙන නම් එහෙම කළේ එතුමා කරන්නේ බරපතල වැරැද්දක්‌ යෑයිද සමරසිංහ මහතා කියා සිටියේය.

චම්පික රණවක මහතා කරන්න හදන මේ වැරැද්ද වහාම නිවැරැදි කළ යුතු බවත් කැබිනට්‌ මණ්‌ඩලය සිදු කළ යුත්තේ මේක අනුමත කරන එක නොව, මේ වැරැදි කරපු අයට දඬුවම් ලබාදීම බවත් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඡන්දේ දවසේ මේ කරල තියෙන වංචාව භාණ්‌ඩාගර අනුමැතියක්‌ නැතුවයි සිදු කර තිබෙන්නේ. ඒක නිවැරැදි කරනවා කියන්නේ කැබිනට්‌ පත්‍රිකාවක්‌ දාලා ඒකට අනුමැතිය ගන්න එක නොවෙයි. මේ කරන්න යන දෙයින් අනිත් වංචාත් නීතිගත වෙනවා. මොකද චම්පික රණවක මහතා වංචාවට විරුද්ධයි කියා මුළු රටටම කියන කොට ඔහුම වංචාව නීතිගත කරනවා නම් ඒක බරපතල වැරැද්දක්‌ යෑයිද ඒ මහතා කියා සිටියේය.

විදුලිබල මණ්‌ලයේ මේ මොහොතේ සිදුවෙමින් තිබෙන වංචා නැවැත්වීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතුයි. ජනතාව දීපු ජනවරම තේරුම් නොගෙන ආණ්‌ඩුව යන්න හදනවා නම් ඒකට අපි ඉඩදෙන්නේ නැතැයි ද හෙතෙම කීය. 

වසන්ත සමරසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ (30දා) පෙරවරුවේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p