කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම්දීම නිසා ඇති වී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දීමත් සමග, ඒ සඳහා වහා ක්‍රියා කරන ලෙස, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණි.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරමින් පළාත්පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවද, අපේක්ෂත්වය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ කටයුතු කිරීමට නෛතික බාධාවක් නැති බැවින් තවදුරටත් මුජිබර් රහුමාන් මහතාගේ නම නගරාධිපති අපේක්ෂකයෙකු වශයෙන් පවතින බවයි. පවතින මැතිවරණ නීතිය අනුව අනෙකුත් අපේක්ෂකයන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකට පවා සහභාගී වීමට නොහැකි තත්ත්වයක් තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මෙම අවස්ථාව හිමිවීමෙන් මේ හරහා 75,000කට ආසන්න අනෙකුත් සියලු පළාත් පාලන අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එබැවින් මෙය නරක පූර්වාදර්ශයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර, රාජ්‍ය කළමනාකාර සහකාර පුරප්පාඩු සදහා බඳවා ගැනීම් තරඟ විභාගය සදහා අවම ලකුණු මට්ටම් 40%ක් ලෙස දක්වා තිබියදී, ලකුණු 40 ට වඩා ලබාගෙන තිබියදීත්, ප්‍රශ්න පත්‍ර ද්විත්වයටම අවම ලකුණු 100ක් ලබා ගත යුතු බවට විධිවිධානයක් සැලසීමෙන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවන බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා තවදුරටත් පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයන් නිසා දැනට රාජ්‍ය සේවයේ වසර ගණනාවක් සේවයේ නියුතු සුදුසුකම් සපිරූ උපාධිධාරීන්ට පවා කළමනාකාර සහකාර තනතුරු සදහා උසස්වීමට නොහැකි වී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මේ අනුව අදාළ තරග විභාගය සමත් රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන සේවයේ නියුතු අයවලුන්ට කළමනාකාර සහකාර තනතුරු ලබා ගැනීමේ සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මීට අමතරව මෙම කාරක සභාවේදී අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා, කල්මුනේ සහ කිලිනොච්චි ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ගැටළු ඉදිරිපත් කළේය. ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය. මිට අමතරව මන්ත්‍රීවරයන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ ප්‍රශ්න පිළිබඳවද විශේෂ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටද සාකච්ඡා විය.