ගුවන්විදුලි සංස්ථාවේ ගොඩනැගිල්ලක් ගැන අනාවරණයක්

April 26, 2024

සුපිරි වෙළඳසැලක් සකස් කළ ගිවිසුමකට අනුව ගුවන් විදුලි සංස්ථාව සතු කොළඹ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත පර්චස් 120කට වැඩි භූමියක්, වසර 20කට ලබා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. එමෙන්ම එම ගොඩනැගිල්ලට සහ භූමියට අදාළ VAT ගෙවීම් වර්තමානය වන විට සිදු කරනු ලබන්නේද ගුවන් විදුලි සංස්ථාවෙන් ම බවද හෙළිවිය. මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම ගොඩනැගිල්ල සහ භූමිය බදු පදනම යටතේ ලබාදීමට අදාළව පලකළ පුවත් පත් දැන්වීම් හා බදු ගිවිසුම් පිළිබදව කාරක සභාව ගුවන් විදුලි සංස්ථා නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර සිටියේය. ඒ අනුව මාසිකව ඉන් සංස්ථාවට රුපියල් මිලයන 2ක් අදායමක් ලැබෙන බව සංස්ථා නිලධාරීහු පැවසුහ.කෙසේ වෙතත් එම එම ගොඩනැගිල්ලට සහ භූමියට අදාළ VAT ගෙවීම් නීති විරෝධී ලෙස සංස්ථාව විසින්ම ගෙවීම පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස ප්‍රශ්න කර සිටියේය.ඒ අනුව එම ගොඩනැගිල්ලක් සහිත භුමියට අදාළ ගිවිසුම එම සුපිරි වෙළඳ සැළ මගින්ම සකස් කර තිබූ බව හෙළිවිය.

අදාළ මෙම ගිවිසුම් සඳහා ගුවන් විදුලි සංස්ථාව හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වත්මන් සභාපතිවරයා අත්සන් කර තිබිණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ සේවයෙන් ඉවත් වන සේවකයින්ට ලබාදීමට වෙන්කර තිබු මුදල් ප්‍රතිපාදන ගුවන් විදුලි සංස්ථාවේ වෙනත් කාර්යයක් සඳහා භාවිතා කර තිබෙන බවද කෝප් කමිටුවේදී අනාවරණය විය. කෙසේ වෙතත් මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එලෙස ස්වේච්ඡා වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ මුදල් වෙනත් කිසිදු කටයුත්තකට භාවිතා කළ නොහැකි බව ලිඛිතව දන්වා ඇති බව කාරක සභාවට දන්වන ලදී. ඒ අනුව කාරක සභා සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ද වාර්තාව ලබා දෙන ලෙසට උපදෙස් ලබා දුන්නේය

මේ අතර 2023 අප්‍රේල් 18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ අනුමත සේවක සංඛ්‍යාව 300 දක්වා අඩු කලයුතු වුවත් සේවකයින් 373 දෙනකු තවමත් සේවයෙහි නිරත වන බව කාරක සභාව පෙන්වා දෙන ලදි. ඒ අනුව ගුවන්විදුලි සංස්ථාව ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළ කැබිනට් අනුකමිටුවේ තීරණ නොබෝ දිනකින් ලැබීමට නියමිත බවත් ඒ ඔස්සේ සේවක සංඛ්‍යාව අඩුකිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා කෝප් කමිටුව දන්වා සිටියේය. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වර්තමානය වන විට සංස්ථාවටම සිටින්නේ ඉංජිනේරුවන් දෙදෙනෙක් පමණක් බව පෙන්වා දුන්නේය.එක්‌ ඉංජිනේරුවෙක් හෝ නොමැති වුවහොත් සංස්ථාව වසාදැමීමට සිදුවන බවද ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ආයතනයේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවකයින් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ජා කොට ලබාගැනීමට කටයුතු කරන ලෙසද කාරක සභා සභාපතිවරයා සංස්ථා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

සංස්ථාව ආරම්භයේ සිට එ්කල විකාශනාගාරය පැවතී අක්කර 15ක විශාල ඉඩම තුළ ගොඩනැගිලි 6කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශ වීමට ඉඩ හැර පැවැතීම පිළිබඳවද කෝප් කමිටුව දීර්ඝ ලෙස නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. මෙහිදී විගණන නිලධාරීහු මෙම ගොඩනැගිලි වල තිබු යකඩ සහ ඇස්බැස්ටෝස් සොරකම් කරගෙන ගොස් තිබෙන ආකාරය දිගින් දිගටම ප්‍රශ්න කළහ.මෙහිදී අනාවරණය වුයේ එම ගොඩනැගිල්ලේ ආරක්ෂාවට යොමුකර සිටි සංස්ථාවේ ස්ථිර සේවයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු විසින් එම සොරකම සිදු කර ඇති බවයි. මෙම ගොඩනැගිලි සහිත භූමිය තුළ අධික සර්ප ගහනයක් සිටීම හේතුවෙන් එම ප්‍රදේශයට කිසිම පුද්ගලයකුට ඇතුළු වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබු බව ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට වසරකට පෙර තමා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශයට ගිය නමුත් කිසිම සර්පගහනයක් නොතිබූ බව ප්‍රකාශ කළේය. ඒහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා අදාළ සොරකම සඳහා එම භුමිය සර්ප ගහනයක් පවතින භූමියක් බවට පත්කරගෙන ඇති බව පෙන්වා දුන්නේය.

ගුවන්විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබීම පිළිබඳව මෙහිදී සාකච්ජා විය. සංස්ථා නිලධාරීන් විසින් පෙන්වා දුන්නේ මාසික විදුලි බිල රුපියල් මිලියන 25 පමණ වන බවයි සංස්ථාව විසින් රාඡ්‍ය අංශයේ සේවා කටයුතු මුදල් ලබා නොගෙන ක්‍රියාත්මක කිරීම සහ නිසි සහයෝගයන් නොලැබීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් සංස්ථාව දැඩි මුල්‍ය අර්බුදයකට පත්වී ඇති බව පෙන්වා දෙන ලදී. ඒ අනුව ඉදිරියේදී කිසිදු කටයුත්තක් නොමිලේ සිදු කිරීමට අවශ්‍ය නොවන බවත් ව්‍යාපාරික ආයතනයක් ලෙස ඒ ඒ වැඩසටහන් වලදී අදාළ මුදල් අයකරගැනීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.සංස්ථාව සතුව රට පුරා විශාල වතක්ම් ප්‍රමාණයක් පවතින බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව එම වත්කම් විකුණා සේවක පඩි ගෙවීම තම ප්‍රතිපත්තිය නොවන බව වැඩි දුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේය. ඒ අනුව ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය භාර්ය සහ ඉන් සිදුවූ සේවාව හා සිදුවන සේවය ගැන සිහිපත් කළ කාරක සභා සභාපතිවරයා සංස්ථාව සතු වත්කම් නිසි ලෙස කළමනාකරණය කරමින් අදායම් උත්පාදනයට කටයුතු කලයුතු බව පෙන්වා දුන්නේය. ඒ අනුව සංස්ථාව සතු සියලු වත්කම් ඇතුලත් වාර්තාවක් වහාම කාරක සභාවට යොමුකරන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ පවස්තින කිසිදු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවක් වසා දැමීමට තීරණය කර නොමැති බව ජනමධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා කෝප් කමිටුවට අවධාරණය කළේය.

t

o

p