ඉරානය සතු නවීන තාක්ෂණය ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සූදානම් – ඉරාන ජනාධිපති

April 24, 2024

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.

මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වඩා වැදගත් වන්නේ ඒ තුළ පවතින අප රටවල් දෙක අතර සහ ජනතාවගේ කැමැත්ත සහ අධිෂ්ඨානය බව කිවයුතුයි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව මම ප්‍රකාශ කිරීමට කැමතියි. පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් සිටිනවා.

වාරිමාර්ග , වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි මහත්මිය

ඌව පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. අද දවස මේ මහපොළව තුළ නව ගොවි බිම් හෙක්ටයාර් 1,500 ක් අස්වැද්දිය හැකි නවෝදයක් නිර්මාණය වන දවසක් ලෙස මම දකිනවා. ඒ වගේම පවතින ගොවි බිම් හෙක්ටයාර් 4,500 ක් යල සහ මහා කන්න දෙකේදීම අස්වැද්දිය හැකි යුගයක් ආරම්භ වනවා. බණ්ඩාරවෙල සහ වැල්ලවාය ජනතාවගේ පානිය ජල අර්බුදයට තිත තැබීම ද අද සිදු වෙනවා.ඒ වගේම මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120 ක අමතර විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද සිදු කෙරෙනවා.
ශ්‍රී ලංකික අප ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ජාතියක්. අද දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් එම ශිෂ්ටාචාරයට නව ඉංජිනේරු තාක්ෂණය එක් කෙරෙන බව කිව යුතුයි.

ඉරානයේ බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මෙරහබීන් මහතා

ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ මෙම හමුව අප දෙරටටම ඉතා වැදගත් අවස්ථාවක් බව කිවයුතුයි. ඒ වගේම මෙම ව්‍යාපෘතිය හරහා අප දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.
මෙවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉරානය ප්‍රමුඛ පෙළේ රටක් බව කිවයුතුයි. වාරිමාර්ග හා ජලපවාහන පිළිබඳ ජාත්‍යන්තර කොමිසමට අනුව ඉරානය වාරිමාර්ග ජාල සම්බන්ධයෙන් ලෝකයේ රටවල් අතර 05 වන ස්ථානයේ සිටිනවා. ඉරානයේ තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම ඇතිව ලෝකයේ රටවල් 20ක මෙවැනි විශාල ව්‍යාපෘති 50 ක් සම්පූර්ණ කර ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබී තියෙනවා. ඉරානය සහ ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීම මඟින් තාක්ෂණික හා ආර්ථික දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට ඉදිරියේ දී අප තව දුරටත් කටයුතු කරනවා.

t

o

p