විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

April 23, 2024

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් අප්‍රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවයි.

එම දෙදින තුළ යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මහනුවර සහ මාතර යන නගරවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල විවෘතව පවතින බවද සඳහන්.

ලේඛන සත්‍යාපනය සඳහා වූ අයැදුම්පත් සාමාන්‍ය පරිදි මෙම ප්‍රාදේශීය කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි අතර සත්‍යාපනය කරනු ලැබූ ලේඛන යළි අයැදුම්කරුවන් වෙත ලබා දෙනුයේ මැයි 02 වන බ්‍රහස්පතින්දා දින බවද එම නිවේදනයේ සඳහන්.

සිදුවිය හැකි කිසියම් අපහසුතාවන් මඟහරවා ගැනීම සඳහා, සත්‍යාපනය කිරීම පිණිස යම් හදිසි ලේඛන ඇතොත් ඒවා 2024 අප්‍රේල් මස 26 වැනි දින පස්වරු 4.15 ට පෙර කොළඹ පිහිටි කන්සියුලර් අංශයට හෝ ඕනෑම ප්‍රාදේශීය කන්සියුලර් කාර්යාලයකට භාරදෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඒ අනුව මැයි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රයේ සඳුදා සිට සිකුරාදා තෙක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සාමාන්‍ය කාර්යාල වේලාව තුළ මහජනතාවට කොන්සියුලර් සේවාවන් සැපයෙනු ඇති.

t

o

p