ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම කඩිනම් කිරීම සදහා සියලු ආයතන එක්වී නියමිත කාල රාමුවක් තුළ කටයුතු කරන ලෙස පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා දැනුම් දුන්නේය.
රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිකම සහ එකඟත්වයක් නැතිවීම නිසා රටට හිතකර බොහෝ ව්‍යාපෘති ප්‍රමාද වන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
වසර 16 ක් පමාවී ඇති ගාලු වරාය මැරීනා සංවර්ධන ව්‍යාපෘතිය සහ 2018 වසරේ ආරම්භ කරන ලද නිල් ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීම පිළිබඳව පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, වරාය අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ගාල්ල නගර සභාව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන අදාළ සියලු ආයතන නියෝජනය කරමින් මේ සදහා නිලධාරිහු සහභාගී වූහ.
සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය සදහා ණය මුදල් අනුමත වී ඇත්තේ 2006 වසරේදී බවත් එම ව්‍යාපෘතියෙන් මූල්‍ය වාසියක් නොවන බැවින් ක්‍රියාත්මක නොවූ අතර පසුව ව්‍යාපෘතියේ පවතින ආර්ථිකමය වාසි මත දෙවන ව්‍යාපෘති යෝජනාවට අනුව අමතරව හඳුනාගත් හෙක්ටයාර 40ක භූමි ප්‍රමාණයක් ගොඩකර ඒ සදහා නැවතත් උරුම බලපෑම් වාර්තාවක්, පරිසර හා පුරාවිද්‍යා ඇගයීම් වාර්තාවක් ලබා ගෙන සුදුසු ආයෝජකයෙකු වෙත ලබා දී සංවර්ධනය කිරීමට නියමිත බව වරාය අධිකාරියේ නිලධාරීහු මෙහිදී කාරක සභාවට කරුණු දැක්වූහ.
මුහුදුබත් වූ නැව් 4ක් මේ භූමියේ ඇති බවත් පුරාවිද්‍යාත්මක වශයෙන් සිදුවන බලපෑම පිළිබඳ විශ්ලේෂණයක් මගින් (AIA) එම නැව් කොටස් ගොඩට ගෙන ප්‍රදර්ශනය කිරීම වැනි විකල්ප ක්‍රමවලට යා හැකි බව ද පුරාවිද්‍යා නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. මෙම භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බව ද ඔවුහු පැවසූහ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතුළු මෙම ව්‍යාපෘතිය සදහා පවතින නීතිමය බාධාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර රටට හිතකර මෙවැනි ව්‍යාපෘති බාධක ජයගෙන සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම සියලු ආයතන හා පාර්ශ්ව හමුවී ගැටලු විසදා ගැනීම සදහා මෙම ආංශික අධීක්ෂණ කාරක සභා වේදිකාවක් ලෙස යොදා ගන්නා ලෙස ද කාරක සභා සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
මේ අනුව සති දෙකකට වතාවක් මේ සම්බන්ධ ප්‍රගතිය කාරක සභාවට වාර්තා කරන ලෙසට වරාය අධිකාරියට දැනුම් දුන් අතර අප්‍රේල් 26 වැනිදා වන විට අදාළ මූලික ප්‍රගතිය දැනුම් දෙන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
සංචාරක ආකර්ෂණය වැඩිකිරීම සහ සමුද්‍රීය පරිසරය රැක ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක නිල් ධජ සහතිකය සහිත වෙරළ ව්‍යාපෘතිය (Blue Flag Beaches) පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙරට සංචාරක ආකර්ෂණය සහිත වෙරළ තීරයන් 28ක් මේ සදහා තෝරාගෙන ඇති බව ද මෙම සහතිකය සදහා නිර්නායක 33 ක් සපුරාගත යුතු බව ද මෙහිදී අනාවරණය විය. ලංකාවට පසුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ඉන්දියාවේ වෙරළ 8කට දැනටමත් මෙම සහතිකය ලැබී ඇති බවත්, තමා පරිසර රාජ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වසර ගණනක් ප්‍රමාද වී තවමත් ක්‍රියාත්මක නොවී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට මූලික වශයෙන් උණවටුන, බෙන්තොට, පාසිකුඩා සහ ආරුගම්බේ යන වෙරළ තීරයයන් නිල සහතිකය ලබා ගත හැකි වෙරළ තීරයයන් ලෙස හදුනා ගෙන අදාළ කටයුතු සිදු කරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පැවසූහ. ඒ අනුව අදාළ සියලු ආයතන සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු වේගවත් කිරීමේ අවශ්‍යතාව මාන්නප්පෙරුම මහතා විසින් අවධාරණය කරන ලදී.
මේ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ සදහා අදාළ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලෙස ද කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී.