තිඹිරිගොල්ල රක්ෂිතයේ වන සතුන් දඩයම ජයටම

April 15, 2024

දිගාමඩුල්ල මිටියාවතට මහා වැසි ඇද වැටුන සමය නිමාවෙමින් තිබේ. මහ වැසි නිසා නිල්ලෙන් වැසී මහත් ආඩම්බරයෙන් පසු වෘක්ෂලතාවෝද අව්වට හසුව වේදනාවෙන් පසුවෙති. ‘දියෙන් පිරී ගොස් හැඩ දමමින් පහළට ගලා බස්නා දියපහරවල් වියකී යමින් තිබේ. නමුත් වනයේ අසිරිය විඳින්නට නොහැකිවූ අහිංසක කම පුරවාගත් මුව සේනාවන් ඇතුළු වන සත්ව කැළ වනයේ ඔබ මොබ සැරිසරන්නේ මහ බියකිනි.
තිඹිරිගොල්ල බක්මිටියාව වන රක්ෂිතය වූ කලී ගම්මාන රැසකින් වටවූ විශාල වන පෙතකි. තිඹිරිගොල්ල, එක්ගල්ඔය, වඩිනාගල, පන්නල්ගම, තොට්ටම, බක්මිටියාව, කෝන්ගස්පිටිය ආදි දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානවලින් මෙම වන රක්ෂිතය එක් පසෙකින් මායිම්ව තිබේ.

09 කණුව, 06 කණුව, හුලන්නුගේ, ලාහුගල, තිරික්කෝවිල්, කෝමාරිය ආදී තවත් විශාල ගම්මාන රැසකින් මෙම වන පෙත වටව තිබීම නිසා මිනිස් ක්‍රියාකාරකම්වලට නිරන්තරයෙන් හසුව තිබේ.

තිඹිරිගොල්ල, පන්නල්ගම ආදී ප්‍රදේශ ආශ්‍රිත වන අරණේ දඩ මස් ජාවාරම ජයටම සිදුවන බවට ලැබුණු තොරතුරක් මත නැඟෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති නාමල්තලාව ශෛල්‍යබිම්බාරාමාධිපති, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය ගම්පහ නාරද හිමියන්, සහ දසුන් සමගින් අපද ඒ වන පෙත තුළට රිංගා ගියේ නිරතුරුව වන පෙතේ ඔබ මොබ සැරිසරන අලි රාළහාමිලාගේ අඩන්තේට්ටම් පිළිබඳව සිතට නොගෙනය.

ඒ ගමනට මග පෙන්වූ තිඹිරිගොල්ල ගම්වාසීන් කිහිප දෙනකුද අපත් සමග සිටි අතර ඔවුන්ගේ නම් සඳහන් නොකරන ලෙස ඔවුන් අපගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටියහ.

අප මෙලෙස වන පෙතට රිංගා යෑමේ මූලික අරමුණ වූවේ මදු ගසා මුවන් ඇතුළු වන සතුන් අල්ලන මහා ජාවාරමක සුලමුල අනාවරණය කරන්නටය.

තිඹිරිගොල්ල ප්‍රදේශය ආසන්නයේ වන පෙත තුළ අප හෝරා කිහිපයක් ගතකළ අතර එම කාලය තුළ දුටු දෙයින් අප මහත් කනස්සල්ලට පත් වන්නට වූහ. ඒ මස් කෑමට බඩජාරිවූ කුරිරු මිනිසුන්ගේ පහත් නොපනත්කම් නිසා මුළු වන පෙතම මස් වැද්දෝ ලේ විලක් කර ජාවාරමේ නිරත වන බව දැකීමෙනි. අප වන පෙත තුළට ගිය විට දුටුවේ වන සතුන් අල්ලා ගැනීමට අටවා ඇති තොන්ඩුය. තවත් තැනෙක මදුවලට හසුව මියගොස් මස් දියව ගොස් ඇට කටු පෑදී ඇති මුවෙකුගේ සිරුරකි. අං තට්ටුවත් සමග මතුව ඇති හිසෙහි තවමත් මරණය ගෙන ආ මාරක කේබල් තොන්ඩුව සවිව ඇත්තේය. ඒ ආකාරයෙන් මෙම වන පෙත පුරාම තොන්ඩුවට හසුව මියගොස් මස් වැද්දන්ගේ ඇස නොගැසී කුණුව ගිය මුවන්ගේ සිරුරු රැසක් අපට දකින්නට ලැබුණේ අප සියලු දෙනාම දැඩි සංවේගයට පත් කරලමිනි.
අම්පාර නගරයේ ඇතැම් ආපන ශාලාවන් සහ තානායම්පළවල්වල මුව මස් ඇතුළු අහිංසක වන සතුන්ගේ මාංශයන් රහසිගත ආකාරයෙන් නිතර දෙවේලේ අලෙවි කරමින් සිටින්නේ මෙවැනි මස් වැද්දන්ට පිං සිදුවන්නටය.

මෙම වන පෙත පුරා අහිංසක වන සතුන් පා තබනා අඩි පහරවල්වල කේබල් යොදා මදු සකසා අහිංසක මුව පොව්වන් ඇතුළු සතුන්ගේ ගෙල සිරකිරීම මෙම මස් ජාවාරමේ ප්‍රධාන උපක්‍රමයයි. ඒ ආසන්නයේ ඇති අනෙකුත් මාර්ග ලී කැබලි හෝ කොළ අතු යොදා අවහිර කරමින් තොන්ඩුව ඇටවූ මාර්ගයේම වන සතුන් ගමන් කරවීමට මෙම මස් වැද්දෝ උපායශීලී වෙති.

මේ කිසිත් නොදන්නා අහිංසක මුව පොව්වන්, වන සිරිය විඳිමින් පිපාසයෙන් පීඩිතව පහස නිවන්නට දිය පොදක් සොයන්නට යද්දී එක්වරම ගෙල තොන්ඩුවට සිරව යන්නේය. එක්වරම තමන්ගේ ගෙල සිරව යද්දී බියට පත්වන මුව පොව්වා මහත් බියට පත්ව හැකි වෙර යොදා පලා යෑමට උත්සාහ දරන්නේය. ඒ සෑම විටම සිදුවන්නේ තව තවත් මන්ද සාදා ඇති කේබලයට ගෙල සිරවීමය. මින් බේරී යෑමට දරන සෑම උත්සහයකින්ම හුස්ම පොදක් ගන්නට නොහැකි වනසේ ගෙල සිරව ගොස් ඇස් ලොවි ගෙඩි සේ රතුව ඉදිරියට නෙරා එති. හුස්ම ගැනීමට අපහසුව මුව ඇරී දිව දිගුව එළියට ඇදෙති. තම පණ රැකගන්නට වෙර දරමින් දඟලද්දී කුර පහරවල් බිම වැදී වළවල් හැරී යන්නේය. මළපහ යන්නේය. අවට ගස් වැල් පෙරළී ගියද සවිමත් කේබලයේ පුඩුවට තව තවත් ගෙල සිරව යන්නේය. අවසානයේදී සියලු දැඟලිලි නිමා වෙමින් අවසන් හුස්ම පොද වා තලයට එකතු වන්නේ බඩජාරි කුසට ගොදුරක් බවට පත්වෙමිනි.

මුව පොව්වක් පමණක් නොව ගෝනුන් ඇතුළු වන සතුන්ට අත්වන්නේ මේ ඉරණමය.

මේ ආකාරයෙන් දිනපතාම වන සතුන් කිහිප දෙනකු නොමිනිසුන් විසින් ගසනා මන්දට හසුව මියයති. ඒ ආකාරයෙන් මියයන වන සතුන්ගේ වන පෙත තුළම තියුණු මුවහත් පිහිතුඩුවලින් සිය ඝනකම් හම සිදුරුව ගොස් රතු පැහැති රුධිර ගංගාවන් සිරුරෙන් වෑස්සෙද්දී මස් පෙත්තෙන් පෙත්ත කැපී යයි. කිලෝ ගණනින් කිරා ඒ මොහොතේදීම ෂොපින් මළුවලට දමා අවට

ගම්මානවලට පමණක් නොව අම්පාරේ තානායම්පළවල් වල ගැනුම්කරුවන්ට පවා කිලෝවක් රුපියල් 1500ක වැනි මිලකට අලෙවි කරමින් අතමිට සරුකර ගන්නට මෙම ජාවාරම්කාරයෝ රුසියෝය.

මෙලෙස සතෙක් මැරූ කල ගම්මානයේ ඇතැම් පිරිසක් දඩමස් කිලෝ දහය පහළොව රැගෙන සිය නිවෙස්වල තබා හිතවතුන්ට රහසිගතව අලෙවි කරනු ලබයි.
අම්පාරේ වල් ඌරු මස් හෝ මුව මස්, ගෝන මස් වැනි අහිංසක සත්වයන්ගේ මාංශයන් සෑමවිටම අලෙවි කරන තානායම්පළවල් සහ හෝටල් රැසක් ඇත. එහිදී දඩ මස් ග්‍රෑම් 200ක් යොදා හදන ඩෙවල් එකක් රුපියල් හත් අට සියයකට අලෙවි වෙති. වේලන ලද දඩ මස් සමගින් ඩෙවල් එකක මිල ඊටත් වැඩිය. නමුත් කනගාටුම කරුණනම් නීතිය රකින සමහර පොලිස් නිලධාරීන් පවා මෙවැනි ස්ථානවලට ගොස් කිසිදු හිරිකිතයක් නොමැතිව දඩමස්වල රස බැලීමය. තවද ගම්බද තිබෙන ඇතැම් හෝටල්වල පවා දඩමස් සහිත බත් පාර්සලයක් රුපියල් 600ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි.

අපේ හාමුදුරුවනේ කේබල්වලින් මදු ගසා සත්තු මරනවා වාගේම හොර තුවක්කුවලිනුත් සත්තු දඩයම් කරනවා. බඳින තුවක්කුවලිනුත් නිතරම වගේ සත්තු දඩයම් කරනවා. මන්දට හසුවෙලා ඉන්න සතා මේ අය එන වෙලාවට මැරිලා නැත්නම් කරන්නේ ගලකින් හරි පොලුවලින් හරි ඔළුවට ගහලා මරන එක. මෙහෙම ගියොත් තව ටික දවසක් යද්දී අපේ දරුවන්ට ගෝනෙක් මුවෙක් දැක ගන්න වෙන්නේ පිංතූරෙකින් තමයි යනුවෙන් අපට මඟ පෙන්වමින් ඉදිරියෙන් ගිය ගම්වැසියා පැවසීය.

(පරිසරයට දැඩිසේ ඇලුම් කරන නැඟෙනහිර ජාතික උරුමයන් සුරකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමියෝ මෙලෙස පැවසූහ.

මහා පරිමාණයෙන් වන සතුන් මදු ගසා මරා විකුණන බව දැනගත්තම අප එම ප්‍රදේශයේ වන සතුන්ට සිදුවන හානිය පිළිබඳව සොයා බැලීමක් සිදු කළා. ඇතැම් වන සතුන්ගේ ගෙල මන්දට හසුව හිරව මියගිහින් එහෙමම මස් දියවෙලා ඇටකටු තමයි බොහෝ තැන්වල තියෙන්නේ. ඒ ගමනේදී අපට පුළුවන් වුණා සතුන්ට අටවා තිබුණු කේබල්වලින් සකසා තිබුණු මදු විශාල ප්‍රමාණයක් ගලවා ගෙන එන්න. පරිසරය පිළිබඳව මහා ඉහළින් කතා කරන වකවානුවක මේ ආකාරයෙන් අහිංසක වන සතුන් මදු ගසා සහ විවිධාකාරයෙන් මරා තම බඩජාරි කුස පුරවා ගන්නට කටයුතු කිරීම ඉතා කනගාටුදායකයි. අද මිනිසුන් තම කුස අමු සොහොනක් කරගෙන. මේ නිසා අහිංසක වන සතුන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙලා. අදාළ බලධාරීන් ඉතා ඉක්මනින් මෙම මස් ජාවරම වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. මෙම වනාන්තරයේ අටවා තිබෙන සියලුම මදු ඉවත් නොකළහොත් තව තවත් අසරණ සතුන්ගේ ජීවිත මේ ආකාරයෙන් විනාශ වෙලා යාවි යැයිද පූජ්‍ය ගම්පහ නාරද හිමියන්  අදහස් දක්වමින් පවසා සිටියහ.

මෙම වන පෙතේ තවත් ආකාරයකට වන සතුන් මරා මස් ගෙන යන ජාවාරමක් සිදු වෙමින් තිබේ. අලිගම්බ වැනි ප්‍රදේශවලින් පැමිණෙන ඇතැම් පිරිස්ද මෙම වන පෙතේ සැරිසරා මදු ගසා මෙම වන සතුන් මරා දැමීමේ ජාවාරමේ නියැළෙමින් සිටිති.

මොවුන් දඩ මස් ප්‍රවාහනය කරන්නට අපූරු උපක්‍රමයක් භාවිතා කරනු ලබයි. ඒ කිරි ගෙනියන ප්ලාස්ටික් කෑන්වල ඉහළ කොටස කපා ඒ තුළට දඩමස් දමා නැවතත් කෑන්වල ඉහළ කොටස වසා දමා කිරි ගෙන යන ආකාරයෙන් රැගෙන යෑමයි.

අලිගම්බ ප්‍රදේශයෙන් පැමිණෙන බොහෝ දෙනෙක් තලගොයින් මරා දැමීමද ජයටම සිදුකර ගෙන යනු ලබයි.

මඟුල් ගෙදරක බෝහෝ විට කෑම මේසයේ රස ගන්වනු ලබන්නේ කුකුල් මස් හෝ ඌරු මස්වලිනි. නමුත් මෙම ප්‍රදේශයේ ඇතැම් මඟුල් ගෙවල් හෝ උත්සව අවස්ථාවල කෑම මේසය මුව මස් ගෝන මස් ඇතුළු දඩ මස්වලින් පිරී යති.

සමහර වේලාවට මීමින්නන්, කබැල්ලාවන්, ඉත්තෑවන් පවා මස් පිණිස මරා දමා මස් කර කෑම මේසයට සකස් කර තබති.

බොහෝ විට ගමේ ඇතැම් මඟුල් ගෙවල්වලට දින කිහිපයකට පෙර දඩයක්කරුවන්ට දඩ මස් ඇනවුමක් ලැබේ. ඉන් පසු ඔවුන් මුවන් ගෝනුන් වැනි වන සතුන් මරා දැමීමට මහත් වෙහසක් දරති. ඇතැම් විට වල් ඌරෙක් හෝ මරාදමා සිය දඩ මස් ඇනවුම සපුරා දෙන්නට දඩයක්කරුවෝ අති දක්ෂ වෙති.

එවිට ඔවුන් මදු ගැසීමට අමතරව තුවක්කු රැගෙන මහ වනයේ වන සතුන් ගැවසෙන ප්‍රදේශවල දින ගණන් රැක සිටිති. ඇතැම් විට සා පිපාසයෙන් දිය කඩිති සොයා එන වන සතුන්ට ද ගිනි බිඳින්නට ඔවුහු තුවක්කුව මාන බලා සිටිති.

මස් වැද්දන් වනයේ රැක සිටින වග නොදන්නා වන සතුන් නිමේෂයකින් ගිනියම්වූ වෙඩි උණ්ඩයට බිලිව මහා වන පෙතම කම්පා කරමින් අවසන් සුසුම් හෙළනු ලබයි.

“මහත්තයෝ මේ පැත්තේ විතරක් නෙවෙයි සමහර වේලාවට ඈත පැතිවලට පවා දඩ මස් යවන අවස්ථා තියෙනවා. සමහර දඩයම් කරන අයගේ ඈත ප්‍රදේශවල ඉන්න හිතවත් අයට තමයි ඒවා දෙන්නේ. අන්තිමේදී මේ විදිහට වන සතුන් මරන්න ගියොත් අනාගතේ පොඩි දරුවන්ටවත් වන සතෙක් බලා ගන්න වෙන්නේ පිංතූර වලින් තමයි” යනුවෙන් අපත් සමග ඉදිරියෙන් ගිය මග පෙන්වන්නා අප දෙස බලමින් කීවේය.

මේ ආකාරයෙන් වන සතුන් මරා දමා බොහෝ දෙනකු සිය බඩජාරි කුස දඩ මසින් පුරවා ගනිද්දී මේවා රකින්නට සිටිනා බොහෝ දෙනකු නිසි පරිදි රාජකාරි නොකිරීම නිසා දඩයක්කරුවන්ට මහා වාසියක්ව තිබේ.

ඒ නිසා මදු ගසමින් ගිනි බිඳිමින් සිදු කරනා මහා දඩමස් ජාවාරම නවතා දමන්නට දැන්වත් බලධාරීන් කටයුතු නොකළහොත් වන පෙතෙන් මෙවැනි වන සතුන් දැක ගැනීමට නොහැකි වනු ඇත.

සුසන්ත අමර බන්දු

“ඉරිදා දිවයින”

t

o

p