‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ ගුරුවරුන් 2500ක් බඳවා ගන්න පියවර

April 10, 2024

‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධ්‍යපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ක් වුවත් ඒ සඳහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවක් පවතියි. බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කර ගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර තිබේ. පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගැයීමකදී මේ බව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වසරේදී පාසල් 1000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු සංඛ්‍යාව 6500ක් දක්වා වැඩි කිරීමටත් ඒ සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වනු ලබන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට ද අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“ගුරු ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට පොදු වැටුප් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන ගුරුවරුන්ටත් ගෙවන්නේ. සමහර විෂයන් සඳහා සාමාන්‍ය ක්‍රමයට ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ගණකාධිකරණය, ඉංග්‍රීසි හා වෙනත් විදේශ භාෂාවන් යනාදියට ඉහළ වැටුප් සහිත පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. එවිට රාජ්‍ය සේවයට බඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. මේවා ඉදිරියේදී සාකච්ඡාවට සම්මන්ත්‍රණයට ලක්විය යුතුයි. කවුරුත් ගුරුවරු. සාමාන්‍ය අපේ රටේ පුද්ගලික අංශයේ වැඩි වැටුපකට වැඩ කරන සේවකයකුත් රාජ්‍ය අංශයේ රැකියාවක් සඳහා වැඩි වැටුප අතහැරලා පැමිණෙන අවස්ථා පිළිබඳ ඉතිහාසයේ සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබෙනවා.“

t

o

p