ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැන නැවත සලකා බලයි

April 10, 2024

ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත නැවත වරක් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලීමට තීරණය විය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය. මෙදින කාරක සභාවේ දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධනය (යුනෙස්කෝ) සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සහ ඊට සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා ද විධි විධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත සළකා බැලීම සිදු විය.

මෙහි දී කාරක සභාව විසින් අනාගතයේ දී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය හැකි, පනත් කෙටුම්පතේ තවදුරටත් නිවැරදි ව අර්ථකනය කරගත යුතු අංශ කිහිපයකට නිලධාරීන්ගේ අවධානය යොමුකරන ලදී. ඒ අනුව පනත් කෙටුම්පත සඳහා අදාළ විෂය පථයට සම්බන්ධ සියලු ම අමාත්‍යාංශ සහ ආයතනවලින් නිරීක්ෂණ ලබා ගන්නා ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. ශ්‍රී ලංකාවට වඩාත් උචිත සහ ඵලදායී ආකාරයෙන් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සඳහා අදාළ සියලු ම පාර්ශවවල අදහස් ලබා ගැනීමේ වැදගත්කම ද මෙහි දී අවධාරණය කෙරිණි.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිනී කුමාරි විජේරත්න, මායාදුන්න චින්තක අමල්, (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීන් සහ කාරක සභාවේ සභාපතිගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ද මෙම රැස්වීමට සහභගී විය.

අධ්‍යාපන අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මේ සඳහා සහභාගී වී සිටියහ.

t

o

p