වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළ නීති හැදීමට උපදෙස්

March 13, 2024

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාළව නීති සෑදීමේදී නීතිපතිවරයාගේ මතය සහ කොමිෂන් සභාවේ මතය එකිනෙකට වෙනස් බැවින් ඒ සම්බන්ධ එක් තීරණයකට පැමිණීම සදහා කඩිනමින් මැදිහත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (12) රැස්වූ අවස්ථාවේදී තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සදහා වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සතු නෛතික බලය පිළිබඳව ද අවධානය යොමුවූ අතර එහිදි මෙම දැනුම්දීම සිදුකරන ලදී.

තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාල නව රෙගුලාසි අනුමතිය සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනෝජා හේරත් මහත්මිය පැවසීය. තීරු බදු රහිත භාණ්ඩ ඩොලර් 5000ක් දක්වා නියම කිරීමට කොමිෂන් සභාවට බලය නැති බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය. එවැනි තත්ත්වයක් තුළ වරාය නගරය කොමිෂන් සභාව විසින් සේවය ලබා ගත් පෞද්ගලික නීති සමාගමක් විසින් තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකට අදාල නීති සම්පාදනය සදහා වරාය නගරය කොමිෂන් සභාවට පූර්ණ නෛතික බලතල ඇති බවත් නීතිපතිවරයාගේ මතය වැරදි බවටත් ලිපියක් මගින් මුදල් කාරක සභාවට දන්වා ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේය. නීතිපතිවරයාගේ මතය වැරදි බව මෙවැනි පෞද්ලගලික නීති සමාගමක් හරහා දැනුම් දීම ගැටලු සහගත බවත් නීති සෑදීමේ බලය පාර්ලිමේන්තුවේ අනුමතියකින් තොරව සිදු කිරීම ගැටලුකාරී බවත් මෙහිදී සාකච්ඡා විය.

අනුනීති සෑදීමේ බලය කොමිෂන් සභාවට හිමි වුව ද මෙවැනි අසීමිත බලතල (unfettered powers) හිමි නොවන බව මෙම අවස්ථාවට සහභාගී වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කළහ.

එසේම තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය, එහි ප්‍රායෝගික තත්ත්වය සහ බලපෑම පිළිබඳ දීර්ඝ ලෙස කමිටුව ප්‍රශ්න කරන ලදී. එ් අනුව මෙමගින් මෙරට පවතින භාන්ඩ විකිණීමේ ව්‍යාපාර ආයතනවලට සිදුවිය හැකි බලපෑම සහ මුදල් අමාත්‍යාංශයට අදාළව බදු ක්‍රියාවලියට සිදුවන බලපෑම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර වාර්තා කරන ලෙස ද දැනුම් දුන්නේය.

එසේම මුදල් කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමු කර අනුමතිය ලබා නොදීම තුළ තීරුබදු සහිත සාප්පු සංකීර්ණය ස්ථාපිත කිරීම වඩාත් නිවැරදි ලෙස සිදු කිරීමට මාර්ගය සැලසුන බවත් ඒ සම්බන්ධයෙන් මුදල් කාරක සභාව ලෙස සතුටුවිය හැකි බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පසුගිය කාලයේ පැවති රැස්වීම් සදහා සහභාගී නොවීම පිළිබඳව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළේය. මෙහිදී කොමිෂන් සභා නිලධාරීන් පැවසුවේ සභාපතිවරයාට සහභාගී වන ලෙස විශේෂයෙන් දන්වා තිබේ නම් සභාපතිවරයා සහභාගී වන බවයි. එසේම මෙම රැස්වීම සදහා සභාපතිවරයා සහභාගී නොවුයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වෙන බැවින් යැයි ද ඔවුහු පැවසුහ.

කෙසේ වෙතත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ ඇතැම් වැදගත් කරුණු සාකච්ඡා කිරීම සදහා සභාපතිවරයා ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන්ගේ සහභාගීත්වය වැදගත් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි. එසේම එක් එක් දිනවල විවිධ කොමිෂන් සභා සාමාජිකයන් පැමිණෙන බවත් ඉදිරියේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කොමිෂන් සභාවේ සාමාජිකයන් 7 දෙනාගෙන් අවම වශයෙන් සාමාජිකයන් තිදෙනෙකු හෝ සහභාගී විය යුතු බවට මෙහිදී තීරණය විය.

එසේම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ස්ථිර නිලධාරියෙක් පත් නොකිරීම සම්බන්ධයේද කාරක සභාවේ අවධානය යොමු විය.

තවද වරයා නගරය ඉඩම් කොටස් සදහා තාවකාලික බලපත්‍ර ‍ලබා දීම නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් දන්වා තිබුණද තවදුරටත් එය සිදුවන බව කාරක සභාව පෙන්වා දුන්නේය. තාවකාලික බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය නීත්‍යනුකූල කර ගැනීම සදහා අදාළ පියවර ගත යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී. මීට පෙරද කාරක සභාව විසින් ‍මීට අදාළ නිර්දේශ ලබා දෙන ලද බැවින් සතියක් තුළ අදාළ පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

එසේම වරාය නගරය සංවර්ධන කටයුතු පාලනයට අදාළ රෙගුලාසිවල සිදු කරන ලද සංශෝධයන්ට අදාළ ගැසට් පත්‍රය මෙහිදී සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙහිදී අනුමතිය හිිමිවිය.

t

o

p