අද(03) සහ හෙට(04) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

February 3, 2024

76වන නිදහස් සැමරුම් උත්සවය සඳහා ගාලුමුවදොර ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරවන බව අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඊයේ (02)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

අද(03) දින ප.ව. 2.00 සිට උත්සවය අවසන් වනතෙක් ප්‍රධාන මාර්ගය හරහා හෝ අතුරු මාර්ග හරහා ගාලුමුවදොර මාර්ගයට සැහැල්ලු හා බර වාහන ඇතුළු වීම් නවතා දැමෙයි.

බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දක්වා වූ මුහුදු මාවත (Marine Drive) දක්වා පෙලපාලි පෙළගැසීම් සිදුවන බැවින් එම ප්‍රදේශයත් වසා දැමෙන අතර ගමනාගමනයට අවසර ඇත්තේ අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි. බම්බලපිටිය මාර්ග අවහිරයට හසු නොවන බරවාහන W.A. සිල්වා මාවත හරහා හැව්ලොක් මාර්ගයට යොමු කරවන අතර කොළඹ දෙසට ගමන් කරන සැහැල්ලු වාහන බම්බලපිටිය හන්දියෙන් තුන්මුල්ලටත්, කොල්ලුපිටිය මංසන්ධියේ සිට ධර්මපාල මාවත හරහා කොළඹ දෙසටත් ගමන් කිරීමට කටයුතු කරවයි.

කොළඹ සිට බම්බලපිටිය හරහා ගමන් කරන සැහැල්ලු හා බර වාහන සියල්ල ටෙක්නිකල් හන්දිය හරහා මරදාන හන්දිය, ඩීන්ස් මාර්ගය (Deans Road) හෝ ගාමිණී වටරවුම ඔස්සේ ඉබ්බංගල හන්දිය හරහා මාර්ගයත් භාවිතා කළ හැකි බව නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව මෙම මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන කළමණාකරණ අංශයේ නිලධාරීන් 1000කට අධික සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති බවත්, අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු පොලිස් සංචාරක කොට්ඨාසයේ මැදිහත් වීමෙන් සිදුවන බවත්, ඕනෑම ගැටලුවක් ඔවුන් හරහා ජනතාවට විසඳා ගැනීමට හැකි බවටත් ඔහු කියා සිටියි. ඉතාමත් කාර්යබහුල කාල සීමාවක් හා ප්‍රදේශයක් තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බැවින් මෙම මාර්ග භාවිත කරන්නන් රජය හා අදාළ අංශ මාධ්‍ය සාකච්ඡා, මාධ්‍ය නිවේදන හරහා නිරන්තරයෙන් සිදු කරන දැනුවත් කිරීම් කෙරෙහි විමසිල්ලෙන් සිටින ලෙසටත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

t

o

p