USAID “පිරිසිදුනගර, නිල්සාගර” වැඩසටහන මෙට්‍රික්ටොන් 4,600 ඉක්මවන ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට එක්වීම වලක්වන්නට සහය දෙයි

February 1, 2024

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය හරහා ඇමෙරිකානු ජනතාව විසින් ලබාදුන් සහය ඇතිව, පිරිසිදු නගර, නිල් සාගර (CCBO) වැඩසටහන මාර්ගයෙන් තෙවසරකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හවුල්කාරීත්වයකට ස්තුතිවන්නට, ශ්‍රී ලංකාව මුළුල්ලේ ප්‍රජාවන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 4,600කට වැඩි ප්‍රමාණයක්, එනම් ප්ලාස්ටික් බෝතල් මිලියන 496කට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අවට සාගරයට එක්වීම සාර්ථක අන්දමින් වලක්වා තිබේ.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දියත් කළ මෙම CCBO වැඩසටහන ප්ලාස්ටික් හරහා සිදුවන පරිසර දූෂණය ආමන්ත්‍රණය සඳහා USAID ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කරන ප්‍රමුඛ වැඩසටහන වේ. එක්වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් සඳහා ශ්‍රී ලංකාවේ ඇති ඉල්ලුම වර්ධනය වී ඇති නමුත් ඊට සරිලන තත්වයකට පත්වීම අපද්‍රව්‍ය කළමනාකරන පද්ධතියට දුෂ්කර වී තිබේ. පොදු අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාවන් කරා ප්‍රවේශය ඇත්තේ කුටුම්භවලින් සියයට 20කට පමණක් බව ඇස්තමේන්තු කර තිබේ. ජනාකීර්ණ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී සුවිශේෂී අභියෝගවලට මුහුණ දෙයි.

එක්සත් ජනපදය CCBO හරහා දේශීය සංවිධාන සමගින් හවුල් වී අපද්‍රව්‍යවල වටිනාකම් දාමයෙහි එක් එක් පියවර ආමන්ත්‍රණය කිරීම සඳහා නව්‍ය, ආර්ථික වශයෙන් සඵලදායී, සහ පාරිසරික වශයෙන් තිරසාර විසඳුම් සැලසුම් කිරීමට සහ ඒවායින් නියමු වැඩසටහන් කිරීමට තාක්ෂණික සහය සහ ප්‍රදාන වශයෙන් ඇ. ඩොලර් මිලියන 1.2 (රු. මිලියන 382.8) ඉක්මවන මුදලක් ලබාදී තිබේ. මේ හවුල්කාරීත්වයන්හි ප්‍රතිඵලයක් වශයෙන් අමතර ශ්‍රී ලාංකිකයින් 625,000ක් ඝන අපද්‍රව්‍ය සේවාවන්හි වැඩිදියුණු වීමෙන් ප්‍රතිලාභ ලැබූ අතර, කොළඹ, ගාල්ල සහ යාපනය අවට ප්‍රජාවන් අපද්‍රව්‍ය නිෂ්පාදන නව භාණ්ඩ බවට පරිවර්තනය කිරීම සහ නැවත භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන තිරසාර ප්‍රරිචයන් සඳහා යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් හි USAID ආයතනයේ අර්ථික වර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන ඩෙනිස් වෙස්නර් මහතා අදහස් දක්වමින් “ප්‍රත්‍යස්ථබව ගොඩනැංවීම සඳහාත් දේශගුණ විපර්යාසවල හානියෙන් රට ආරක්ෂා කරගැනීමටත් තම ස්වභාවික සම්පත් කළමනාකරණය වැඩිදියුණු කරගැනීමට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට උදවු කරනවා,” යනුවෙන් සඳහන් කළේය. “CCBO වැඩසටහන අවසාන වුවත්, අපගේ වැඩකටයුතු මෙයින් අවසන් වන්නේ නැහැ. දේශීය වශයෙන් ආර්ථික ශක්‍යතාවය සහිත සහ සාගරයේ ප්ලාස්ටික් අඩු කිරීමට හේතුවන විසඳුම් සොයාගැනීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රතිපාර්ශවකරුවන් සමගින් ඉදිරියටත් වැඩ කරනු ඇති.”

“සාගර ප්ලාස්ටික් අවම කිරීම සඳහා තිරසාර විසඳුම් සංවර්ධනය කළ පිරිසිදු නගර, නිල් සාගර වැඩසටහන දැරූ ඒ සහයෝගිතා ප්‍රයත්න අපි සමරනවා. උග්‍ර වෙමින් පවතින අර්බුදයක් වන ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන සාගර දූෂණයට අප මුහුණ දෙන විට, දිගුකාලීන නිෂ්පාදක වගකීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ කැපවීම ඉදිරියට ගෙනයෑමෙහි ලා CCBO ආදර්ශවත් හවුල්කරුවෙකු වී තිබෙනවා. අපගේ පුරවැසියන් සඳහා පිරිසිදු, සෞඛ්‍යසම්පන්න නගර නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ ප්‍රජා සහභාගීත්වයේ ධනාත්මක බලපෑම පෙන්නුම් කරමින්, පාරිසරික භාරකාරත්වය සඳහා අපගේ කැපවීම මෙම මුලපිරීම හරහා පිළිබිඹු වනවා.” යනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

ගෝලීය මට්ටමින් CCBO හි අරමුණ වන්නේ සාගර ප්ලාස්ටික් දූෂණය සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් වන, ශීග්‍රයෙන් නාගරීකරණය වන ප්‍රදේශ ඉලක්ක කිරීම හරහා සෑම වසරකම ලොවපුරා සාගර වෙත ගලා යන බවට ඇස්තමේන්තු කරන ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 11ක ප්‍රමාණය අඩු කිරීම වේ.

ශ්‍රී ලංකාවේ පිරිසිදු නගර, නිල් සාගර වැඩසටහන සහ එහි බලපෑම් සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා කරුණාකර www.urban-links.org/ccbo වෙත පිවිසෙන්න.

t

o

p