පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙදින කාරක සභාව හමුවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණි.
මෙහිදී වර්තමානය වනවිට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් පිළිබඳ ගැටලුව දැඩිව මතුව ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව එම අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි කම්කරු අමාත්‍යංශයේ මැදිහත්වීම කුමනාකාරයෙන් සිදුවේද යන්න පිළිබඳව කාරක සභාව විමසා සිටින ලදී.
පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින්ගෙන් මිලියන 3ක පමණ සංඛාවක් පමණක් කම්කරු නීතිය යටතට ගැනෙන බව කම්කරු අමාත්‍යාංශ නිලධාරීහු පැවසුහ. ඒ අනුව දැනට රුපියල් 12,500ක් වූ පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000ක් දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යංශයෙන් යෝජනා තිබෙන බවද එම නිලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ. එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1,000 සිට 1,700 දක්වා වැඩි කිරීමටද කම්කරු අමාත්‍යාංශයෙන් යෝජනා කර ඇති බව නිලධාරීන් විසින් කාරක සභාවට දැන්වූහ. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවාවන් ඇගයීමට ලක්කල කාරක සභා සභාපතිවරයා කම්කරු අමාත්‍යාංශ මගින් යෝජනා කර ඇති වැටුප් වැඩි කිරීම් නිසි කලට සිදුකිරීමට අවශ්‍ය නිර්දේශය ලබා දුන්නේය.
මේ අතර වර්තමානයේ වෙළඳ පොළේ භාණ්ඩවල පවතින මිල ගණන් වල විෂමතා පිළිබඳව කාරක සභාව විසින් පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීම් කරන ලදී. එහිදී භාණ්ඩවල මිල පාලනය සිදු කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැදගත්කම සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් තමන්ට භාණ්ඩ වල මිල පාලනයට සම්බන්ධ වීමට හැකියාව පවතිනුයේ ඒ ඒ භාණ්ඩ සඳහා මිල පාලනයක් සිදු කර ඇත්නම් පමණක් බව මෙහිදී අදහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පැවසූහ. නමුත් අදාළ නිෂ්පාදකයින් සමග සාකච්ජා කර අදාළ භාණ්ඩ මිල පාලනය කිරීමට උත්සහා කරන බවද එම නිලධාරීහු පැවසුහ.
දරුවන්ට අවශ්‍ය උපකරණ සාධාරණ මුදලකට ලබාදීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා මෙහිදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබදුනේය. එමෙන්ම ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් කර්මාන්තය තුලද භාණ්ඩ හා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බැවින් ඒ සඳහාද මැදිහත්ව මිල පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව උපදස් ලබා දෙන ලදී.