අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක්

January 19, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් ඒ තුළින් වඩාත් ඵලදායි කාර්යක්ෂම සේවාවක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් එම කාර්යාලයේ සිදුකරන වැඩපිළිවෙළ තවදුරටත් වේගවත්ව, ක්‍රමවත්ව කිරීමට හැකිවනු ඇති බවත් වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

මේ වන විට හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළේ හඳුනා ගැනීමේ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවත් ඔවුන් මොනම ආකාරයකින් හෝ ගුවන්තොටුපොළින් පිටව යෑමට උත්සාහ කරන්නේ නම් ඒ තුළින් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගත හැකි යැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. මෙම ක්‍රමය තුළින් යම් සංවිධානාත්මක අපරාධකරුවකු වෙස්වළාගෙන, තම රූපය වෙනස් කර ගැනීමකින් හෝ කුමන ක්‍රමයකින් ගුවන්තොටුපොළින් පිටව යෑමට උත්සාහ කළ ද වහාම හඳුනාගත හැකි යැයි ද වැඩ බලන පොලිස්පතිවරයා කීය. ඒ අයුරින්ම මූල්‍ය වංචා සිදුකර ඇති පුද්ගලයන් ද මෙරටින් පලා යෑමට නොහැකි ලෙස එම දත්ත පද්ධතියට ඇතුළත් කිරීම සිදු කරන බව ද කීය. මධ්‍යම පන්තියේ ජනතාව ආයෝජනය කරන මුදල් එකතු කරන කුඩා මූල්‍ය සමාගම් මෙලෙස විශාල මුදලක් එකතු කර ගැනීමෙන් පසු රටින් පලා යෑමේ තත්ත්වයන් පාලනය සඳහා මෙම පියවර ගන්නා බව ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

සංවිධානාත්මක අපරාධ සිදුවන පොලිස් වසම් 38ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එම පොලිස් වසම්වලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබා දෙමින් එම පොලිස් වසම්වල අපරාධකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

t

o

p