පාප්තුමන්ගේ පිලිපීන දේව මෙහෙයට හැට ලක්‍ෂයක වාර්තාගත ජන ගඟක්

January 20, 2015

ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ පිලිපීන සංචාරය අවසන් කරමින් පැවති අවසන් දේව මෙහෙයට මිලියන 6ක ජනතාවක් රැස්ව සිටි බව වාර්තා වේ.

මෙය පාප්වරයෙකු විසින් පැවැත්වූ විශාලතම දේව මෙහෙය ලෙස වාර්තා අතරට එක්ව ඇති අතර මින් වසර 20කට පෙර 1995දී දෙවන ජුවාන් පාවුළු පාප්වරයා විසින් පිලිපීනයේ පැවැත්වූ දේව මෙහෙය වෙත සහභාගී වූ සංඛ්‍යාව මිලියන 5කි.

ඇද හැලූනු දැඩි වැසි නොතකා මැනිලා නගරයේ අක්කර 148ක් විශාල රිසාල් උද්‍යානය සහ අවට ප‍්‍රදේශ ජනගගකින් පිරී ඉතිරී ගිය බව පැවසේ.  දේව මෙහෙය ආරම්භයට පැය 9කට පෙර සිට උද්‍යාන ද්වාරයන් විවෘත කර ඇති අතර ඇතැම් පිරිස් ස්ථාන වෙන් කරගැනීම සඳහා පෙර දින රාත‍්‍රියේ සිට රුස් කමින් සිටි බව වාර්තා වේ.  ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ද කහ පැහැති වැහි කබායකින් සැරසී දේව මෙහෙයට එක්වී තිබේ.

ශ‍්‍රී ලංකාවෙන් ඇරඹි පාප්තුමන්ගේ ආසියානු සංචාරය පසුගිය මාස 5 තුළ ආසියාවට පැමිණි දෙවන අවස්ථාව වන අතර කතෝලික දහමේ අනාගතය ලෙස ආසියාව වතිකානුවට වැදගත්වී ඇති බව මින් පැහැදිලි වන බව විචාරක අදහසයි.

මේ වන විට ඇමරිකාව හා යුරෝපය තුළ කතෝලික දහමට පැවති ස්ථානය වියැකී යමින් ඇති අතර බැතිමතුන් සංඛ්‍යාව ඉහළ යන කලාප කිහිපය අතරින් ආසියාවට ප‍්‍රධාන ස්ථානයක් හිමිවේ.

ලොව වැඩිම කිතුණු බැතිමතුන් සංඛ්‍යාවක් ජීවත්වන පිලිපීනයේ මිලියන 100ක ජනගහනයෙන් මිලියන 80ක්ම කතෝලික ලබ්ධිකයන් බව පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p