2024 අයවැය කියවීම සහ මද්‍යසාර කර්මාන්ත ප්‍රවර්ධනය කෙරෙහි එහි ඇති බලපෑම

December 14, 2023


ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ සිදුවන සෑම මරණ 10 න් 8 ක්ම වළක්වා ගත හැකි මරණ ලෙස වර්ගීකරණය කර ඇත. දුම්කොළ සහ මද්‍යසාර භාවිතය මෙම වැළැක්විය හැකි මරණ සඳහා වගකිව යුතු ප්‍රධාන අවදානම් සාධක දෙකක් ලෙස හඳුනාගෙන ඇති අතර, මද්‍යසාර භාවිතය දිනපතා මරණ 40-50කට පමණ හේතු වේ.

වර්තමානයේ මද්‍යසාර භාවිතය හේතුවෙන් රටේ ආර්ථිකය මත විශාල මෙන්ම අනිසි බරක් පැටවෙමින් පවතී. 2022 වර්ෂයේදී මද්‍යසාර බදු වලින් ලද සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2 කි. එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් 2023 වසරේදී මෙහෙයවන ලද ‘ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය සඳහා වූ ආයෝජන වාර්ථාවට’ අනුව එම වසරේ මද්‍යසාර භාවිතය හේතුවෙන් රජයට සිදු වූ සෞඛ්‍ය හා ආර්ථික පාඩුව රුපියල් බිලියන 237කි. එපමණක් නොව, අප රටේ පුරවැසියන් දිනකට බියර් සහ අරක්කු සඳහා රුපියල් මිලියන 590 ක් ද සිගරට් සඳහා රුපියල් මිලියන 380 ක් ද දළ වශයෙන් වැය කරන අතර, මෙය විශාල සමස්ත ආර්ථික බරක් ඇති කිරීමට තුඩු දෙන කරුණකි. මෙවැනි තත්වයක් මධ්‍යයේ මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන සඳහා තාර්කික බදු ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් මද්‍යසාර හා දුම්කොළ සමාගම්වලින් රජයට බදු ආදායමක් ලෙස ඉපයිය හැකි දැවැන්ත මුදලක් අහිමි වෙමින් පවතී.

මීට අමතරව, ගංජා භාවිතය හේතුවෙන් ද බොහෝ දෙනා විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති. ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පිළිගෙන ඇති පරිදි, ගංජා භාවිතයේ ප්‍රතිවිපාක ලෙස යෞවනයන්ගේ සංජානන ක්‍රියාකාරකම් කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම්, මානසික රෝග ඇතිවීමේ අවදානම වැඩි වීම සහ කලලයේ ස්නායු වර්ධනයට ඇතිවන බලපෑම් සුලබ වේ.
2024 අයවැය තුළ, මහජනතාව අතර මද්‍යසාර පරිභෝජනය සහ එහි ප්‍රතිවිපාක ඉහළ යාමටත් තුඩු දේ යැයි සිතිය හැකි නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර ඇත. රට තුළ පවතින මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තුරන් කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව, 2024 අයවැය තුළින් මද්‍යසාර භාවිතය ඉහළ නැංවීම උදෙසා යෝජනා කිහිපයක් ඇතුළත් කර තිබීම සැලකීමට බඳුන් විය යුතු කරුණකි. කෙසේ වෙතත්, මෙම යෝජනා නීතිවිරෝධී මද්‍යසාර ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් බවට කරන ප්‍රකාශය පිටුපස සැඟවෙමින් රජය විසින් මෙම යෝජනා ගෙන ඇත.

මද්‍යසාර, දුම්කොළ සහ අනෙකුත් මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා කැපවූ වගකිවයුතු සංවිධානයක් ලෙස, සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් ඔබේ අවධානයට යොමු කිරීමට අප කැමැත්තෙමු. පහත සඳහන් ප්‍රධාන කරුණු අනුව, අයවැය කියවීමේ ඇතුළත් ඇතැම් කරුණු මද්‍යසාර සහ ගංජා කර්මාන්ත සඳහා වාසිදායක මුල පිරීමක් බව පැහැදිලිවම පෙනී යන කරුණකි.
නම්‍යශීලී විවෘත වේලාවන්: මෙය පැහැදිලිවම මහජනයා හට මද්‍යසාර ලබා ගත හැකි අවකාශය වැඩි කරමින් මද්‍යසාර පරිභෝජනය වැඩිවීමට දායක වන උපාය මාර්ගයකි. තවද, නීත්‍යානුකූල වුවද නීති විරෝධී වුවද, මද්‍යසාර සෑම අංශයකින්ම හානිකර වේ. 1995 දී ද එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් නීති විරෝධී මද්‍යසාර පානය පාලනය කිරීම සඳහා මුලපිරීමක් ලෙස බියර් මිල 50% ට වඩා අඩු කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස බියර් භාවිතය වැඩි වූ අතර නීති විරෝධී මද්‍යසාර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේෂ වලට අනුව, මද්‍යසාර ලබා ගැනීමේ සීමාවන් ශක්තිමත් කිරීම සහ බදු සහ මිල ප්‍රතිපත්ති තුළින් මද්‍යසාර ලබා ගැනීමට ඇති අවකාශ අවම කිරීම, විද්‍යාත්මකව ඔප්පු කරන ලද, රටක් තුළ ස්ථාපිත කළ හැකි වඩාත්ම ඵලදායී මද්‍යසාර පාලන පියවරයන් වන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මෙනිසා, රටේ සමස්ත මද්‍යසාර පරිභෝජනය අවම කිරීමට රජය අවශ්‍ය පියවර ගත යුතුයි.

සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා වන රෙගුලාසි සංශෝධනය: මෙම සංශෝධනය සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගෙන ඇතත්, සංචාරක ව්‍යාපාරය සඳහා ජනප්‍රිය නොවන ස්ථානවල ද රෙගුලාසි පනවා ඇති අතර, එය මද්‍යසාර බහුලව අලෙවි වීමට මග පාදයි. මෙමගින් මද්‍යසාර භාවිතය ඉහළ යාමත්, ඉහළ යන සෞඛ්‍යය බර හේතුවෙන් මහජන සෞඛ්‍යයට සහ රටේ ආර්ථිකයට සිදුවන සමස්ත බලපෑම පිළිබඳව ප්‍රශ්න මතු කිරීමටත් හේතු වනු ඇත.
මෘදු මද්‍යසාර බලපත්‍ර සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වාදීම: මෘදු මද්‍යසාර පරිභෝජනය දිරිමත් කිරීම තවත් මද්‍යසාර කර්මාන්තයට හිතකර උපාය මාර්ගයක් බව පැහැදිලිය. එය නැවතත් මද්‍යසාර ලබා ගැනීමට මහජනයාට ඇති අවකාශය වැඩි කිරීමට දායක වන අතර, අවසානයේදී මද්‍යසාර පරිභෝජනය ඉහළ යාමට දායක වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය සහ ආයුර්වේද වෛද්‍ය සහයෝගීතාවය ජාත්‍යන්තර ඉල්ලුම සහිත වෛද්‍ය පැලෑටි සඳහා ආයෝජකයින්ට පහසුකම් සපයනු ඇත: දේශීය වශයෙන් ගංජා කර්මාන්තය නංවාලීමට බොහෝ උත්සාහයන් දැනුදු ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත්, ගංජා භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු වලින් ඔබ්බට සලකා බැලීමේදී, ලොව පුරාම ගංජා කර්මාන්තය අඩුවන මූල්‍ය ප්‍රතිලාභ සහිතව පරිහානියකට පත් වෙමින් පවතී. මෙනිසා, රට තුළ ගංජා ප්‍රවර්ධනය කිරීමෙන් පැහැදිලිවම ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. එමෙන්ම මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මානසික රෝග සඳහා ප්‍රතිකාර නොලැබීම 67%ක් පමණ වන අතර, ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමත් සමග මානසික සෞඛ්‍ය සේවාවන් කෙරෙහි තව දුරටත් රෝග බර වැඩිවීම දරා ගත නොහැකි වනු ඇත.
පවතින ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා නිර්දේශයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ ඵලදායි වැඩපිළිවෙලක් ලෙස මද්‍යසාර බද්ද වැඩි කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර ඇත. එහෙත්, අයවැය කියවීම්වල මද්‍යසාර සහ ගංජා කර්මාන්තයට හිතකර සංරචක ඇතුළත් වන අතර, IMF විසින් නිර්දේශ කරන ලද පහත සඳහන් නිර්දේශ මෙහිදී සම්පූර්ණයෙන් සලකා බලා නොමැති බව සටහන් කිරීමට කැමැත්තෙමු.

මද්‍යසාර සහ දුම්කොළ නිෂ්පාදන සඳහා නිෂ්පාදන බදු 20%කින් වැඩි කිරීම: පළමු වැඩිවීම දුම්කොළ සහ මද්‍යසාර සඳහා 2023 ජූනී මස සිදු විය. දෙවන වැඩිවීම 2024 ජනවාරි මස අවසානයට පෙර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ.
2024 ජනවාරි වන විට සුරාබදු සඳහා උද්ධමනයට අනුකූල ස්වයංක්‍රීය වෙනස් වන බදු ක්‍රමයක් හඳුන්වා දීම: සුරාබදු බදුකරණය සඳහා තිරසාර ප්‍රවේශයක් පවත්වා ගැනීම සඳහා මෙය තීරණාත්මක පියවරකි.
මෙම නිර්දේශ සැලකිල්ලට ගනිමින්, වත්මන් අයවැය යෝජනා නැවත සලකා බලා, යෝජිත නීත්‍යානුකූල මද්‍යසාර බදු වැඩිකිරීම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අවධාරණය කර සිටිමු. මෙම ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් සමඟ සමපාත වන අතර අප රට මුහුණ දී ඇති ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ද ලබා දෙනු ඇත.

ස්තූතියි.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)

t

o

p