මහසෝනා යනු අප ජන විශ්වාස වලට අනුව යක්ෂයන් අතර හිඳින ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා ය.තමන් හමුවට එන ඕනෑම කෙනකු එක් සැනයකින් මරා දැමීමේ හැකියාව මහසෝනා සතුව ඇති බවට ද ප්‍රබල විශ්වාසයක් අප ජන සමාජයේ තිබේ.”මහසෝනා ගැහීම” යන ප්‍රකට වදනින් හැඳින්වෙනුයේ එයයි. සඳ පායන කාල වල දී මධ්‍යම රාත්‍රිය ආශ්‍රිතව ඇතැමුන්ට මහසෝනා දර්ශනය වන බව ද මධ්‍යම රාත්‍රියෙන් පසු හෝරාවක පමණ කාලයක් තුළ එසේ මහසෝනා දර්ශනය වීමේ වැඩි හැකියාවක් පවතින බව ද කියනු ලැබේ.සර්ව රාත්‍රික පිරිත් දේශනා වල ආටානාටිය සූත්‍රය සජ්ජායනා කෙරෙන හා පහත රට තොවිල් ශාන්ති කර්ම වල මහසෝන් සමයම රඟ දැක්වෙනුයේ ද මේ ජාමය තුළ බව ද ප්‍රකට කරුණකි.ජන සම්මතයට අනුව එවැනි රැයක සඳ එළිය අතුරින් මතුවන මහසෝනාගේ රූපය බලා සිටියදීම විශාල වූ සද්දන්ත කිංකොං කෙනෙකුගේ ප්‍රමාණය දක්වා විශාල වෙයි. ඔහු මිනිසුන්ට පහර දෙනුයේ ඒ ඇසිල්ලේ ය.
පසුගිය නොවැම්බර් 28 වන දා ඉල් පුර පොහොය ගෙවී එළඹුණු දෙවන දිනයයි.එදින රාත්‍රී නින්දට ගිය මා කිනම් හෝ කරුණක් මත ඉහත සඳහන් ජාමයේ නින්දෙන් අවදි වූ අතර හාත්පස පරිසරය සඳ එළියෙන් නැහැවී ඇති අන්දම මා සිටි අඳුරු කාමරයේ උස් වීදුරු ජනේලයෙන් කදිමට පෙනුණි.එහෙත්,ඒ අතරේ සඳ එළියෙන් නැහැවෙමින් තිබූ දැවැන්න මිනිස් රූපය දුටු සැනින් මගේ සිත තුළ මහත් තිගැස්මක් ඇති විය.ඒ දැවැන්ත මිනිසා විකාරරූපී ලෙස මා දෙසට අත වනනු අයුරු දුටු සැනින් මම වඩාත් තිගැස්මට ලක්වීමි.එහෙත්,මහසෝනා යනු හුදෙක් ශ්‍රී ලාංකේය ජන විඥානය තුළ මිස සැබැවින් මෙලොව වෙසෙන්නකු නොවන බව කෙමෙන් පසක් කර ගත් මා එය ද්‍රශ්‍ය මායාවක් බව වටහා ගෙන නින්දට පිවිසියේ එම දර්ශනය විදුලි පන්දම් එළියක් වත් එල්ල කොට පිරික්සිය යුත්තක් නොවන බව වටහා ගනිමිනි.කෙසේ හෝ පසුදා පහන් වූ පසු එම සිදුවීම සිහි ගැන්වුණු බැවින් මම පෙර දා රාත්‍රියේ එම මහසෝනා දිස් වූ දිසාව දෙස නිකමට බැලීමි.එවිට මගේ එතෙක් අවධානයට ලක් ව නොසිට පෙර දා රැයේ මා එක් වරම තිගැස්සූ මහසෝනා මට දිස් වූයේ මෙලෙසිනි.