දීපාවලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් සුබපැතුම් පණිවිඩයක්

November 12, 2023

අඳුර දුරලමින් ආලෝකය උදාකරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය නිමිත්තෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටිනි.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරන අතර, තමන් ආලෝකය ලබාගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතත් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවය.

රටක් ලෙස අපද පසුගිය වසර දෙක තුළදී මුහුණ දුන්නේ ඉතා අඳුරු සමයකටය. එම ඝන අඳුර පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ශ්‍රී ලංකාව දැන් ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටියි.

සශ්‍රීකත්වයේ පහන් එළි රට තුළ දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන සුබ දිපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමමි.

t

o

p