ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල දළදා මාළිගාවට හෝ වෙනත් ආයෝජනයකට යෙදවීමට සුදානම්

November 10, 2023

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අලුත්වැඩි‍යාවෙන් පසු මේ වන විට මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන වසරකට ආසන්න කාලයක් පවතින බැවින් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

විවිධ ප්‍රදේශවල මේ වන විට අතරමග නැවතී ඇති නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. මන්ත්‍රීවරු රැසක් එක් එක් දිස්ත්‍රික්කවල පවතින මෙම අමාත්‍යාංශයට අදාළ ගැටලු ඉදිරිපත් කළහ.

මීට මාස තුනකට පෙර මන්ත්‍රීවරු මෙම කාරක සභාවට ඉදිරිපත් කළ ගැටලු තවමත් විසඳී නොතිබීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන් මෙම ගැටලු සඳහා කාර්යක්ෂම ලෙස මැදහත් වී විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

t

o

p