නව අධ්‍යාපන ක්‍රමයකට රජයෙන් සැලසුම්

October 30, 2023

නව අධ්‍යාපන ක්‍රමයක් සහ නව පාසල් කළමනාකරණ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අධ්‍යාපනය රැඩිකල් ලෙස වෙනස් කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

කඳුකරයේ පාසලක මුළු සිසුන් ගණන 80ක් පමණක් වුව ද කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 8,000ක් සිටින බව පැවසූ හෙතෙම සිසුන් 5,000ට වඩා සිටින පාසල් 30ක් රට පුරා තිබෙන බව ප්‍රකාශ කළේ ය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පසුගිය දා (ඔක්. 27) පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ය.

ශ්‍රී ලංකාවේ හොඳ පාසල් යනුවෙන් හඳුන්වන පාසල් 100 අතරේ පවතින තරගය යහපත් තත්ත්වයක් බව ත්, එංගලන්තයේ හොඳ ම පාසල්වලින් බිහි වන සිසුන්ට සමාන දැනුමක් තිබෙන සිසු පිරිසක් මෙම පාසල්වලින් බිහි වන බව ත් ජනාධිපතිවරයා පැවසීය.

ලෝකයේ අධ්‍යාපන ක්‍රම වෙනස්වන ආකාරයට ශ්‍රී ලංකාව ද හැඩගැසිය යුතු බව ත්, ඒ අනුව අනාගතය දෙස අවධානය යොමු කොට නව තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක ක්‍රම සමග ඉදිරියට යා යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

පැරැණි ක්‍රම බැහැරකොට නව ප්‍රතිසංස්කරණ යොදාගත යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා ආර්ථිකය, අධ්‍යාපනය, දේශපාලනය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට නව සැලසුම් අවශ්‍ය බව කීවේ ය.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින් නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමට දේශපාලනඥයන් සහ පුරවැසියන් සියලු දෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා පැවැසීය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

t

o

p