වන වගා වල දැව නිස්සාරණය කිරීම කාර්යක්ෂම කිරීමට නව ක්‍රමවේදයක්

October 5, 2023

ශ්‍රී ලංකාව තුළ දැව බවට පත් කිරීම සඳහා සුදුසු පයිනස් වන වගාවන් පවතින බැවින් තදුරටත් දේශීය පයිනස් දැව නිෂ්පාදනය සඳහා වන පිරිවැය අඩුකර ගැනීමට පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන් ඉදිරිපත්කළ ආනයනික පයිනස් දැව සඳහා වන පිරිවැය සහ දේශීය පයිනස් දැව නිෂ්පාදනය සඳහා වන පිරිවැය පිළිබඳ විශ්ලේෂණ වාර්තාව සළකා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ දැව බවට පත් කිරීම සඳහා සුදුසු පයිනස් වන වගා හෙක්ටයාර් 2964 ක් ඇති බවත් ,ඉන් ඝන මීටර් 750,000 දැව බවට පත් කිරීමට හැකි බව කමිටුව හමුවේ කරුණු දක්වමින් නිලධාරීහු පැවසූහ. එසේ වුවත් වසරකට රු. කෝටි 160ක පමණ පයිනස් දැව,ඝන මීටර් 15,462ක් ආනයනය කරන බව කමිටුවේදී අනාවරණය විය. මේ වන විටත් රු.කෝටි 922ක් වටිනා ඝන මීටර් 375,000 ක ඉරූ පයිනස් දැව සංචිත පැවතියද තවදුරටත් පයිනස් දැව ආනයනය කිරීම ගැටලුවක් බවයි කමිටුව අවධාරණය කළේ. මෙහිදී අනාවරණය වූයේ දේශීය පයිනස් ඉරූ දැව ඝන මීටරයක් (ඝන මීටර් 2ක් කුට්ටි දැව) සඳහා වන නිෂ්පාදන පිරිවැය ඝන මීටරයට රු. 115,000 පමණ වන අතර ෆයිනස් ඉරූ දැව ඝන මීටරයක් ආනයනය කිරීම සඳහා රු. 93,500 ක් පමණ වැය වන බවයි. ලංකාව මුහුණු දී ඇති විදේශ විනිමය ගැටලුව මධ්‍යයේ විශාල මුදලක් වැය කර මෙලෙස ලංකාවට ෆයිනස් දැව ආනයනය කිරීම ගැටලුවක් වී තිබීම ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට යොමු විය.

ඒ් අනුව කමිටුව විසින් දැව සංස්ථාවේ නිලධාරීන් ලබා දුන් විශ්ලේෂණ වාර්තාව සලකා බලා පයිනස් සඳහා වන නිෂ්පාදන පිරිවැය තවදුරටත් අඩු කරගැනීට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව වසරකට ඝන මීටර් 75,000 පමණ වන පයිනස් ගස් කපා,ඒවා දේශීය ප්‍රයෝජනයට ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී. එලෙස කටයුතු කළහොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 441ක් ලැබෙන බවත්, ඒ ආශ්‍රිත රැකියා සිදුකරන කම්කරුවන්ට රුපියල් මිලියන 503ක්, ප්‍රවාහන කටයුතුවල නිරතවන්නන්ට රුපියල් මිලියන 433ක් හා දැව ඉරන්නන්ට රුපියල් මිලියන 1.2ක් ලැබෙන බවයි කමිටුව අවධාරණය කළේ. එමෙන්ම දැව සංස්ථාවේ ආදායම ලෙස රු. මිලියන 331ක් දක්වා වර්ධනය කරගත හැකි බව පෙන්වා දුන් කමිටුව දේශීය වශයෙන් මෙරට ජනතාවට සහ රජයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

ඒසේම දේශීයව නිෂ්පාදනය කරනු ලබන පයිනස් දැව සදහා දේශීය හා විදේශීය වෙළෙඳපොළේ ඉල්ලුම වැඩි කර ගැනීමට එහි නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමටද යෝජනා කිහිපයක් කාරක සභාව ඉදිරිපත් කරන ලදී. එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගා වලින් පයිනස් දැව කැපීමේදී ගෙවනු රු. 11,125.96ක මුදල රු. 8,500.00 ක් දක්වා අඩු කිරීම ට මෙන්ම රාජ්‍ය දැව සංස්ථාව විසින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගා වලින් කපා අලෙවි කරනු ලබන පයිනස් දැව සදහා තබා ඇති 25% ක ලාභාංශය 10% ක් දක්වා අඩු කිරීමට යෝජනා කරන ලදී.

රාජ්‍ය දැව සංස්ථාව විසින් එම වන වගා වල දැව නිස්සාරණය කිරීම සදහා සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සදහා මාස තුනක පමණ කාලයක් ගත වන බැවින් මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා රාජ්‍ය දැව සංස්ථාව විසින් සෘජුවම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නැවත වන වගා පිහිටුවීමට වැයවන මුදල් ගෙවීමට ක්‍රමවේදයක් සකස් කිරීම යෝග්‍ය බව කමිටුව යෝජනා කරන ලදී. ඒසේම දැනට පවතින පයිනස් වන වගා, දැව සඳහා ඉවත් කිරීමෙන් පසු නැවත පයිනස් වගා ස්ථාපිත කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමට සහ එලෙස නැවත පයිනස් වන වගා සිදුකිරීමේදී ඊට සුදුසු පයිනස් විශේෂයන් හඳුනාගැනීම සම්බන්දයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය. මෙදින කාරක සභාව රැස්වීමට සහභාගී වු තරුණ නියෝජිතයින් ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නැවත වගාවට සුදුසු පයිනස් විශේෂ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා කාරක සභාවට වාර්තා කළ හැකි බවයි.

t

o

p