දමිල මාධ්‍ය පාසැල් 26ක ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහනේ විශේෂ වැඩමුළුවක්

September 27, 2023

බදුල්ල දිස්ත්‍රික්කයේ දමිල මාධ්‍ය පාසැල් 26ක ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ‘පාර්ලිමේන්තු විදු පියස’ වැඩසටහනේ තවත් සුවිශේෂී වැඩමුළුවක් පසුගියදා බණ්ඩාරවෙල දමිල මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) සමග එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේදී අනාගත තරුණ පුරවැසියන් ලෙස පාසැල් ප්‍රජාව පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් දැනුවත් විය යුතු තොරතුරු වඩාත් සරළව ඉදිරිපත් කෙරිණි. විවිධ ප්‍රායෝගික අංගවලින් සමන්විත වැඩසටහන සදහා දරුවන් සහ ගුරුවරු සියලු දෙනා අතිශය උද්‍යෝගයෙන් යුතුව සම්බන්ධවී සිටින අයුරු දැකිය හැකි විය.

මෙම පාර්ලිමේන්තු විදු පියස වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින්, පරිපාලන අධ්‍යක්ෂ ජී තච්චනාරාණි සහ මහජන සේවා නිලධාරී පී. රුද්‍රකුමාර් යන මහත්ම මහත්මීහු පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව සිසුන් දැනුවත් කිරීම සදහා සම්පත් දායකයන් ලෙස සහභාගී වූහ.

මෙම වැඩසටහන පැවති බණ්ඩාරවෙල දමිල මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍යාවක් ලෙස එම විදුහල් ඉතිහාසයේ විශ්ව විද්‍යාල වරම් ලැබූ පළමු ශිෂ්‍යයා බවට පත්වූ පාර්ලිමේන්තුවේ වත්මන් පරිපාලන අධ්‍යක්ෂ ජී තච්චනාරාණි මෙනවිය සදහා උපහාර පිදීමක් ද මෙහිදී සිදුවිය.

t

o

p