ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ මැදිහත්වීමට අධිකරණ අමාත්‍යවරයාගෙන් කඩිනම් ප්‍රතිචාර

September 26, 2023

වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීමට අදාලව නෛතික ප්‍රතිපාදන හිමි වන ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත අනුව අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අංක 2347/10–2023 දරන මෙම ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ.

ඒ අනුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සෑම පරිවාස නිලධාරියෙකුම නිල බලයෙන් එකී නිලධාරියා පත්කර ලැබ සිටින අදාළ පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙකු විය යුතු බවට ගැසට නිවේදනයේ සඳහන් කොට තිබේ.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කොට ස්ථිර සහ සක්‍රීයව සේවයේ නියුතු සෑම ජාතික ඒකාබද්ධතාව සම්බන්ධීකරණ නිලධාරියකු ම නිල බලයෙන් එකී නිලධාරියා පත් කර ලැබ සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් වන අදාල පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙකු විය යුතු බවද ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳ ළමයින් පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් කරන ලද මැදිහත්වීම මත අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ.

මේ පිළිබඳ ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතීත්වයෙන් පැවති ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කළ අතර පරිවාස හා ළමාරක්ෂණ සේවා කොමසාරිස්වරයා ඇතුළු පළාත් කොමසාරිස්වරු ඒ සඥහා සම්බන්ධ වූහ. එහිදී සිය ගැටලු සහ යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරමින් ඔවුන් පෙන්වා දුන්නේ අධිකරණ ක්‍රියාවලිය තුළ පරිවාස භාරයේ සිටින වින්දිත දරුවන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සදහා තෙවැනි පාර්ශ්වයකට යොමු කිරී‍මේදී අපහසුතාවට පත්වන බවයි.

මේ අනුව ළමුන් සදහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම සාම විනිසුරු පත්වීම් ලබා දීමේ යෝජනාව අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට ඉදිරිපත් කරන ලදී.

t

o

p