තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

September 22, 2023

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කරමිනි.සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 10.00 ට පමණ ආරම්භ විය.

ඊට සහභාගිවීමට පැමිණි රාජ්‍ය නායකයින් එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. පසුගියදා ඇතිවූ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් මොරොක්කෝ රාජ්‍යයේ සහ ලිබියා ජනරජයේ විපතට පත්වූ සියලුම සරණාගතයින් සහ ඔවුන්ගේ පවුල්වලට මගේ ශෝකය පළ කරනවා.

මෙම දුෂ්කර කාලය තුළ අපි අපගේ මිතුරන් වන මොරොක්කෝ සහ ලිබියානු ජනතාව සමඟ එකට සිටින බව මම ප්‍රකාශ කිරීමට කැමතියි.“විශ්වාසය නැවත ගොඩනැංවීම සහ සහයෝගීතාව යළි ඇති කිරීම” යන ප්‍රකාශය අද අප ඉදිරියේ පවතින බහුපාර්ශ්වික අභියෝග පිළිබඳ මෙනෙහි කිරීමට පමණක් නොව, පසුගිය වසර පුරා මගේ රට වන ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ද සුදුසු බව මම විශ්වාස කරනවා.පසුගිය වසරේ මෙම කාලය වන විට ඇති වී තිබූ බහුවිධ ගෝලීය අර්බුදයන් මධ්‍යයේ ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් සමාජීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදය අත්විඳිමින් සිටි අතර එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට විනාශකාරී බලපෑමක් එල්ල කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට දරන ලද උත්සාහයන් නිසා අප සතුව පැවති ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන්ට ද තර්ජනාත්මක තත්ත්වයක් රට තුළ උද්ගත වුණා.කෙසේ වූවත්, අප සතුව පැවති ගැඹුරින් මුල් බැසගත් සහ ඔරොත්තු දෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලන බල හුවමාරුවක් සිදු කිරීමට අප සමත් වුණා.ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පොහොර පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගාසිටුවමින් රටේ ස්ථාවරත්වය සහතික කිරීමට සහය වූ බව කිවයුතුයි.

ආර්ථික, මූල්‍ය, ආයතනික සහ සංහිඳියා යන ක්ෂේත්‍ර ප්‍රමුඛ කර ගනිමින් මා විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ එක් අතකින් ජනතාව සහ රජය අතර විශ්වාසය යළි ගොඩනැගීම සඳහා හේතු වී ඇති අතර අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය ඇතිකිරීම සඳහා අඩිතාලම දැමීමක් ද වනවා.මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ධනාත්මක ප්‍රතිඵල ශ්‍රී ලාංකිකයන් දැනටමත් සිය දෛනික ජීවිතය තුළ අත්විඳිමින් සිටින අතර රටේ ප්‍රගතිය සම්බන්ධයෙන් අභ්‍යන්තරව හා බාහිර වශයෙන් විශ්වාසය ගොඩනැඟෙමින් පවතිනවා.වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට සාමයෙන් සහ සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සෑම ප්‍රදේශයකම සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසාර සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා රට මෙහෙයවීම මගේ අභිප්‍රායයි.

මෙම ඉලක්කය කරා ළඟා වීමට, අපගේම ජනතාවගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය, විශ්වාසය සහ සහයෝගීතාවය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.එක්සත් ජාතීන්ගේ 80 වැනි සංවත්සරය යෙදෙන 2024 අනාගත සමුළුවට සූදානම් වන විට, බෙදුණු දේශපාලනික භූ දර්ශනයක් අපට දිස්වෙමින් පවතියි. එමෙන්ම නව ගෝලීය බල කේන්ද්‍රයක් මතුවෙමින් පවතින බවක් ද පෙනෙන්න තිබෙනවා.මෙම වෙනස්වීම් සමග එක් අතකින්, ජනතාව දරිද්‍රතාවයේ සිට සමෘද්ධිය කරා ගමන් කරන අතර ඒ අනුව සංවර්ධනය සහ මානව ප්‍රගතිය පිළිබඳව විශාල බලාපොරොත්තුවක් ඇතිව තිබෙනවා. අනෙක් පසින් ගොඩබිම සහ සාගරවල ඇතිව තිබෙන මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික ආතතීන් විවෘත යුදමය තත්ත්වයන් ඇති කර තිබෙනවාආරම්භක අවධියට වඩා ලෝකයේ පවතින ආරක්ෂක සන්ධානයන් මේ වන විට පුළුල් වී ඇති අතර ඒවාට මුහුණදීමට පැරණි සහ නව අවස්ථාවන්ට අනුකූලව උපායමාර්ග සැකසෙමින් පවතිනවා.

ඩිජිටල් බෙදීම, මූල්‍ය හා ණය අර්බුදය සහ බලශක්ති ප්‍රභවයන්ගේ පරිණාමය යන කරුණු සමඟ උතුර සහ දකුණ අතර පවතින ගෝලීය බෙදීම් තවදුරටත් පුළුල් කරනවා.2030 පොරොන්දුවට පටහැනිව, දශක ගණනාවක් තිස්සේ අප විසින් නොදුටු දරිද්‍රතාවයේ සහ කුසගිනි මට්ටමක් අද අප දකිමින් සිටිනවා. ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ මධ්‍යස්ථ සහ නොබැඳි රටවලට මහා බලවතුන් හමුවේ නැවත වරක් සීමාවන්ට මුහුණදීමට සිදුව තිබෙනවා.

දිල්ලියේ පැවති G20, ප්‍රේටෝරියා හි පැවති බ්‍රික්ස් සමුළුව සහ හිරෝෂිමා හි පැවති G7 යන සමුළු ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඉන් ඔබ්බෙහි පැවති සමුළුවල මෑත කාලීන ප්‍රකාශ ගණනාවකින් අපට මුහුණු දීමට සිදුව ඇති මෙම අභියෝගයන්, දේශසීමා සහ අනෙකුත් සියලුම බෙදීම් අභිබවා යාමක් දක්නට ලැබෙනවා.මෙම තත්ත්වය හමුවේ අනාගත පරම්පරාවන් සඳහා පැහැදිලි අනාගතයක් ගොඩනැගීමට එක්සත් විය යුතු අවස්ථාව අප විසින් දැන් උදා කර ගත යුතුව පවතිනවා.මෙවර මහා මණ්ඩලයේ තේමාව වන “විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන්න මෙම වත්මන් ගෝලීය දුෂ්කරතාව පිළිබඳ මනා පිළිඹිබුවකි.

මෙම වසරේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව පැවති තිරසර සංවර්ධන ඉලක්ක වේගවත් කිරීම, සංවර්ධනය සඳහා මූල්‍යකරණය සහ දේශගුණික අභිලාෂයන් පිළිබඳ සමුළුව ආදී සමුළු තුනකට ශ්‍රී ලංකාව ලෙස අප සහභාගී වී ඇති අතර එහිදී මීට සමගාමීව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය බවට අප එකඟ වුණා.දේශසීමා විරහිත මුල්‍ය බලපෑම්, දේශගුණික විපර්යාස සහ වසංගත වැනි අර්බුද මගින් මගේ රට වන ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සහදේශගුණික විපර්යාස වලට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීමට ඇති හැකියාවට බාධා ඇති කරනවා.

ලෝක බලවතුන් අතර පවතින ගැටුම් සහ ආතතීන් මගින් ආර්ථික හා සාර්ව මූල්‍ය ස්ථාවරත්වයට අවිනිශ්චිතතාවය එකතු කිරීම, සැපයුම්දාමයන් කඩාකප්පල් කිරීම සහ උද්ධමනය මෙන්ම ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇති කිරීම වැනි ගැටළු වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ඇති වාතාවරණය තවදුරටත් අසීරු කරනවා.තිරසර සංවර්ධන ඉලක්ක සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඔබ්බට සංවර්ධනය සහ වර්ධනය පමණක් මැනීම සඳහා වන අතර, මානව යහපැවැත්ම, ඇතුළත් සමාජ සහ ගෝලීය තිරසාරභාවය එහි හරය තුළ අන්තර්ගතව තිබෙනවා.තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර, ශ්‍රී ලංකාව අනෙකුත් මධ්‍ය ආදායම් ලබන රටවලට වඩා ඉහළ කාණ්ඩයක ශ්‍රේණිගත කළ ඉහළ මානව සහ සමාජ සංවර්ධන දර්ශකයක් අත්කර ගෙන තිබුණා.ශ්‍රී ලංකාව පෘථිවි තලය පිළිබඳ ඇති වගකීම පැහැර හැර නැහැ.

පසුගිය වසරේ COP27 හිදී අපි අපගේ දේශගුණ අභිලාෂ සැලැස්ම ගෙනහැර දැක්වූවා.2030 වන විට විදුලි උත්පාදනයේ දී 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නා බවත්, වන ආවරණය 32% කින් ඉහළ නංවා ගැනීම සේම හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කරන බවට අප එහිදී ප්‍රකාශ කළා. 2040 වන විට ගල් අඟුරු ඉවත් කර 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනයට ළඟා වීමට අප අපේක්ෂාවෙන් සිටිනවා.

t

o

p