මැතිවරණ පෙත්සමක් ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය දින 21 සිට දින 42 දක්වා වැඩි කෙරේ

September 16, 2023

සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබදව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය පසුගියදා යොමුවිය.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධව සාකච්ඡා වූ අතර මෙම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ අනුමතිය ලබාදීම ද සිදුවිය.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 205 වගන්තිය අනුව නඩු කටයුතුවල තීන්දු ප්‍රකාශයේ හා නඩු තීන්දුවේ සහතික පිටපත් නිකුත් කිරීමට අදාළව මෙම සංශෝධන ඉදිරිපත් කර තිබිණි. මේ අනුව නඩුවකට අදාළ පාර්ශ්වයන්ට තීන්දු ප්‍රකාශයේ හෝ නඩු තීන්දුවේ එක් සහතික පිටපතක් නොමිලයේ නිකුත් කිරීමට මෙමගින් විධිවිධාන සපයා ඇත. තවද ගාස්තු ගෙවීමකට යටත්ව අදාළ පිටපත් ලබා ගැනීමට හැකියාව ලබා දීම ඇතුළු සංශෝධන මීට අයත්වේ.

මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මගින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගින් මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21 ක් ඇතුළත මැතිවරණ පෙත්සමක් ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය දින 21 සිට දින 42 දක්වා සංශෝධනය කිරීම සිදුවේ. වත්මන් නීතියට අනුව මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21 ක් ඇතුළත දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් මැතිවරණ වියදම් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවුනහොත් මැතිවරණ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව ලබා දී ඇත. මේ අනුව එම කාලය දින 42 දක්වා සංශෝධනය කිරීම සිදුවේ.

තවද මෙම පනත් කෙටුම්පත මගින් දැනට පවතින මැතිවරණ පනත් අනුව නියම කරනු ලබන දණ්ඩන ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් මූල්‍ය තත්ත්වයට ගැළපෙන පරිදි දඩමුදල් යාවත්කාලීන කිරීම ද සිදුවේ.

t

o

p