දශලක්ෂයක පුරවැසි අදහස් විමසමින් සකස්කළ “මහින්ද චින්තන ලොව දිනන මඟ” එළි දැක්වේ

December 23, 2014

Mahinda chinthana lova dinana maga_

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන මහින්ද චින්තන ලොව දිනන මඟ කොළඹදී දෙසැම්බර් 23 වැනිදා නිකුත් වූ අතර එය සකස් කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ලබාදී ඇති අදහස් සහ යෝජනා සංඛ්‍යාව 1,003,421කි.

මහින්ද චින්තන ලොව දිනන මඟ සකස් කිරීමට පුරවැසි අදහස් ලබා ගැනීම සඳහා ඉකුත් ඔක්තෝබර් මස ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් සහ දැනුවත් කිරීම් මගින් මෙම යෝජනා ලැබුණු අතර වසර 2005 මහින්ද චින්තන වැඩපිළිවෙළ සඳහා පුරවැසි යෝජනා 423,487ක්ද 2009 වසරේදී මහින්ද චින්තන ඉදිරි දැක්ම සඳහා එවැනි යෝජනා 584,591ක්ද ලැබී තිබිණි.

රටේ ඉදිරි අනාගතය සඳහා වැදගත් වන්නාවූ ප්‍රතිපත්ති සහ නව සැලසුම් රැසක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට එක්කර ඇති අතර එම එළිදැක්වීමේ උත්සවයේදී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමාට ඇති එකම ගිවිසුම මහින්ද චින්තනය පමණක් වන අතර මීලඟ ධූර කාලයේ වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බවය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ලොව දිනන මඟ ප්‍රතිපත්ති මාලාවට ජාතික ආරක්ෂාව පිළිබදව ගෝලීය ආදර්ශයක්, පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක්, සදාචාර සම්පන්න සමාජයක් ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිච්ඡේද 20කින් සමන්විත කරුණු ඇතුළත්ය. ළමා සහ කාන්තා හිංසනය, පාතාලය, මත් උවදුර පිටු දකින බවද එය අවධාරණය කර තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝ, විද්වත්හු සහ දේශපාලන නියෝජිතයින් වෙත එහිදී පිළිගැන්වීය.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p