රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවැත්වෙයි

June 9, 2023

නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කාලරාමුවක් සකස්කරන තෙක් ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සලකාබැලීම කල් යයි.

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (7) පැවැත්වුණි.

මෙහිදී ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර කැසිනෝ සඳහා නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කාලරාමුවක් සකස්කරන තෙක් මෙම කෙටුම්පත සලකා බැලීම සතියකින් කල් දැමීම සිදු විය.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම පිළිබඳ මින් පෙර සාකච්ඡා වූ බවත් ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් සකස් කළ කාල රාමුවකට අනුව 2023 ජනවාරි 31 වන විට මෙම නියාමන අධිකාරියට කැබිනට් අනුමතිය ගැනීමට දින සැලැස්මක් සකස් කර දුන් බවත්ය. නමුත් එය සිදු වී නොමැති බවත් මේ නිසා නව දින සැලැස්මක් අවශ්‍ය බවත් එය සකස්කිරීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බවත් කමිටුව සඳහන් කළේය.

මේ අනුව ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සතියකින් රැස්වීමට මෙහිදී තීරණය කෙරිණි.
එසේම 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ වන නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු විය.

t

o

p