හම්බන්තොට බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රජයේ නිවාස කැලයට යටවී විවිධ අපචාර සිදුවන පාරාදීසයක් බවට පත් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. රජයේ නිලධාරීන්ට තාවකාලික පදනම මත නිළ නිවාස ලබාදීම සඳහා මෙම රජයේ නිවාස ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ ඉඳිකරන ලද ඒවා වීම විශේෂත්වයකි. කලින් කලට රජයේ විවිධ නිලධාරීන් මෙම රජයේ නිවාසවල නේවාසිකව සිට ඒ අය නිවාස අතහැර ගිය පසු මෙම නිවාස කැලයට යටවීම නිසා කිසිදු බලධාරියකු සොයා බැලීමක් සිදු නොකරන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. පරණ යකඩ බඩු එකතු කරන පුද්ගලයන් විසින් වාහනවලින් පැමිණ දොර ජනෙල් ගලවාගෙන යන අවස්ථා ද තිබේ. විවිධ අපචාර සිදුවන බවට කැලයට යටවී ඇති නිවාස තුළ සාක්ෂි තිබේ.
හම්බන්තොට පැරණි මහ රෝහල, වෛද්‍ය හෙද නේවාසිකාගාරය, රජයේ ප්‍රධාන පාසල් දෙකක් සහ අවට ස්ථීර පදිංචිකරුවන් සිටින මෙම ප්‍රදේශයේ මෙම කැලවට යටවී ඇති නිවාසවල ජල ටැංකි, හා විවිධ ජලය රැඳෙන ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන සුලබ වශයෙන්ප වතින බව ද ජනතාව පවසති. මේ සම්බන්ධව අදහස් දැක් වූ එම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු කියා සිටියේ ගෙවල් නැතිව විශාල පිරිසක් සිටින අවස්ථාවක මෙම නිවාස කිසියම් කුලී පදනමක් මත නිවාස නැති අයට හෝ ලබා දෙන්නේ නම් අවට පරිසරය හා පිරිසුදු කරගෙන සිටින බවයි. රජයේ නිවාස මෙලෙස කැලයට යටවීම මහා අපරාධයක්. මේවා හරි උසස් ප්‍රමිතියෙන් හදල තියෙන්නේ මුළුතැන් ගෙවල්, සනීපාරක්ෂක පහසුකම්, රථ ගාල ඇතුළු අවශය පහසුකම් මේ හැම නිවසකම තියනවා.
රජයේ නිලධාරීන් නිවාස ගන්න අකමැතිනම් හම්බන්තොට ගෙයක් දොරක් නැති පවුල් කොතෙක් ඉන්නවා ද ඒ අයට හොයලා දෙන්න ඒ අය ඉඩකඩම් පිරිසිදු කරගෙන සිටිවි. මෙම නිවාස සංකීර් ණයේම පදිංචි කාන්තාවක් මෙලෙස කීවාය. ඇත්තටම අපි හරි බයෙන් ඉන්නේ කුඩු කාරයෝ එනවා. රෑට වාහන එනව. මේ ගෙවල්වල මොනවා වෙනවද කියා දන්නේ නැහැ. ඩෙංගුවලට වඩා මහ අවදානමක් මේ ගෙවල් වල තියනවා. දැනට ගෙවල්වල දොර ජනෙල් කඩලා. මේ සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමණසේකර මහතාගෙන් විමසීමේ දි ඒ මහතා කියා සිටියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතුව මෙන්ම විවිධ ආයතන සතුවත් රජයේ නිවාස මෙම ස්ථානයේ තිබෙන බවයි. රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු දැනට එම නිවාස වල පදිංචි වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය. අපට අයත් නොවන වෙනත් රජයේ ආයතනවලට අයත් රජයේ ගොඩනැගිලි රැසක්ද එම ස්ථානයේ පවතින අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට දන්වන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.
මේ සම්බන්ධයෙන් හිටපු හම්බන්තොට නගරාධිපති ගාමිණී ශ්‍රී ආනන්ද මහතාගෙන්ද කළ විමසීමක දී ඒ මහතාද කියා සිටියේ කෘෂි කර්ම දෙපාර්තුමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර් තුමේන්තවට අයත් ගොඩනැඟිලි හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ගොඩනැඟිලි මෙම ස්ථානයේ පවතින බවයි. මෙම ගොඩනැඟිලි ඉතාම වටිනා තත්ත්වයෙන් තිබෙන බවත්, දැනට සොර සතුරන්ගේ ග්‍රහණයට හසුවී ඇති හෙයින් ප්‍රයෝජනයකට නොගැනීම ගැටලුවක් බව ද හෙතෙම සඳහන් කළේය.
සනත් ගමගේ